1. 1. 1. 2.
2. දේවදහ සූත්රය
2. මා විසින් මෙසේ අසලදී. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි දෙව්දහ නම්වූ ශාක්යයන්ගේ නියම්ගමෙහි වැඩවාසය කරනසේක.
එකල්හි පච්ඡාභූමි නම් ජනපදයට යනු කැමැතිවූ බොහෝ භික්ෂූහු භාග්යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නාහුය. එකත්පසෙක උන්නාවූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙසේ සැලකළහ. “ස්වාමීනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යාමට කැමැත්තෙමු. පච්ඡාභූමි නම් ජනපදයෙහි වාසය කිරීමට කැමැත්තෙමු යනුයි.”
“මහණෙනි, තොප විසින් සාරිපුත්තට දන්වන ලද්දේද?” ස්වාමීනි, අප විසින් ආයුෂ්මත්වූ ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට නොදන්වන ලද්දේය.” “මහණෙනි, සාරිපුත්තට දන්වව්. සබ්රහ්මචාරී භික්ෂූන්ට අනුග්රහ කරන පණ්ඩිත භික්ෂුවකැයි වදාළේය.” “එසේය. ස්වාමීනි” යයි ඒ භික්ෂූහු භාග්යවතුන්වහන්සේට උත්තර දුන්හ.
එකල්හි වනාහි ආයුෂ්මත්වූ ශාරීපුත්ර ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේට නුදුරු තන්හි එක්තරා ගසකින් සෙවෙනවූ මණ්ඩපයෙක්හි හුන්නේ වෙයි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී එය අනුමෝදන්වී හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත්වූ ශාරීපුත්ර ස්ථවිරයන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා, එක් පසෙක උන්නාහුය. එක්පසෙක උන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය. “ඇවැත් ශාරීපුත්ර ස්ථවිරයාණෙනි, අපි පච්ඡාභූමි නම් ජනපදයට යෑමට හා පච්ඡාභූම ජනපදයෙහි වාසය කිරීමටද කැමැත්තෙමු” යනුයි. “අප විසින් භාග්යවතුන් වහන්සේ විචාරණ ලද්දේයයිද කීහ.”
“ඇවැත්නි, නොයෙක් රාජ්යයන්ගෙන් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්රශ්න විචාරන්නාවූ ක්ෂත්රිය පණ්ඩිතයෝද, බ්රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්රමණ පණ්ඩිතයෝද ඇත්තාහ. ඇවැත්නි, මනුෂ්ය පණ්ඩිතයෝ ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කිනම් වාද ඇත්තෙක්ද කුමක්කියන්නෙක්දැයි’ විමසන්නෝය ‘ආයුෂ්මත්වූ ඔබවහන්සේලා විසින් කිනම් ධර්මය මනාව අසන ලද්දාහුද? මනාව ඉගෙනගන්නා ලද්දාහුද? මනාව මෙනෙහි කරන ලද්දාහුද? මනාව සිතින් දරා ගන්නා ලද්දාහුද? යම්සේ ප්රකාශ කරනු ලබන්නාවූ ආයුෂ්මත්හු භාග්යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වන්නහුද? භාග්යවතුන් වහන්සේට බොරුවෙන් දොස් නොකියන්නෝ වන්නහුද? ලෝකෝත්තර ධර්මයට අනුකූල ධර්මයක් ප්රකාශ කරන්නහුද? කරුණු සහිතවූ භාග්යවතුන් වහන්සේගේ දේශනාවට අනුකූලවූ කීමක් ගැරහිය යුතු තැනකට නොපැමිණේදැයි’ ඇසූහ.”
“ඇවැත්නි, අපි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ වචනයාගේ අර්ථය දැනගැනීමට දුර සිටම එන්නෙමු. මේ වචනයාගේ අර්ථය ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට වැටහෙනසේක් නම් ඉතා යෙහෙක.”
“ඇවැත්නි, එසේවී නම් අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි” “ඇවැත්නි, එසේය”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ.
“ඇවැත්නි, නොයෙක් රාජ්යවලින් පැමිණියාවූ භික්ෂූන්ගෙන් ප්රශ්න විචාරන්නාවූ ක්ෂත්රිය පණ්ඩිතයෝද, බ්රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය. ඇවැත්නි, මනුෂ්ය පණ්ඩිතයෝ ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කිනම් වාද ඇත්තෝද, කුමක් ප්රකාශ කරන්නේදැයි විමසන්නෝය.
ඇවැත්නි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි මෙසේ ප්රකාශ කරව්. “ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ ඡන්දරාගය දුරු කිරීම ප්රකාශ කරනසේකැ”යි
ඇවැත්නි, මෙසේ ප්රකාශ කළ කල්හිද මත්තෙහි ප්රශ්න විචාරන්නාවූ අන්යවූ ක්ෂත්රිය පණ්ඩිතයෝද, බ්රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද, ශ්රමණ පණ්ඩිතයෝද ඇත්තාහුය. ඇවැත්නි, මනුෂ්ය පණ්ඩිතයෝ අර්ථ විමසන්නෝය. ‘ආයුෂ්මත්වරුන්ගේ ශාස්තෲන් වහන්සේ කවර දෙයක ඡන්දරාගය දුරුකිරීම ප්රකාශ කරනසේක්ද?’