9. 1. 8.
නන්ද සූත්රය
402. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති භාග්යවතුන්වහන්සේගේ මවගේ සහෝදරියගේ පුත්රවූ ආයුෂ්මත් නන්ද ස්ථවිරතෙම පඬුපොවනලද, නැවත නැවත පඬු පොවනලද, සිවුරු පොරවා, ඇස් අඳුන් ගා, පැහැපත් පාත්රයක් ගෙන භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන්වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් නන්ද ස්ථවිරයන්හට වනාහි භාග්යවතුන් වහන්සේ මෙය කීසේක:
“නන්දය, නුඹ යම් පඬු පොවනලද, නැවත නැවත පඬු පොවනලද සිවුරු පොරවන්නේ වෙහිද, ඇස් අඳුන් ගානා ලද්දේ වෙහිද, පැහැපත් පාත්රයක් දරන්නේ වෙහිද, තාගේ එය වනාහි ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ, කුලපුත්රයෙකුහට සුදුසු නොවේ. නන්දය, මෙසේ වනාහි නුඹ යම් ආරණ්යකයෙක් වන්නේ වෙහිද, පිණ්ඩපාතිකයෙක් වන්නේ වෙහිද, පංසුකූලිකයෙක් වන්නේ වෙහිද, කාමයන්හි අපෙක්ෂා රහිතව වාසය කරන්නේ වේද, තාගේ (එය වනාහි) ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ කුලපුත්රයෙකුහට සුදුසුවේයයි” වදාළසේක. භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාව දේශනා කළසේක:
ආරණ්යකවූ, පංසුකූලිකවූ, පිණ්ඩපාතයෙන් යැපෙන්නාවූ කාමයන්හි අපේක්ෂාවක් නැත්තාවූ නන්දයන් මම කවදා දකින්නෙම්ද?
ඉක්බිති ආයුෂ්මත් නන්ද පසුකලක ආරණ්යකයෙක්ද පංසුකූලිකයෙක්ද, පිණ්ඩපාතිකයෙක්ද වූයේය. කාමයන්හිද අපේක්ෂා නැත්තේ වාසය කළේය.
9. 1. 9.
තිස්ස සූත්රය
403. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති, භාග්යවතුන් වහන්සේගේ පියාගේ සහෝදරියගේ පුත්රවූ, ආයුෂ්මත් තිස්ස ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, දුක්වෙමින් නොසතුටුවූ සිත් ඇතිව කඳුලු වගුරුවමින්, එක් පැත්තක හුන්නේය. ඉක්බිති, භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් තිස්ස මහණහට මෙය වදාළේය: “තිස්සය, කිමෙක්ද? නුඹ දුක්ව නොසතුටුවූ, සිත් ඇතිව කඳුලු වගුරුවමින් එක්පැත්තක හුන්නෙහිද?”
“ස්වාමීනි, භික්ෂූහු මට හාත්පසින්, වචන නමැති කෙවිටින් නිතර අනින්නාහුය”යි කීය. “තිස්සය, එය එසේමය. නුඹ වනාහි කියන්නෙහිය. කියන වචන නො ඉවසන්නෙහිය. නුඹ යම් හෙයකින් කියන්නේ වෙහිද, කියන වචන නො ඉවසන්නේ වෙහිද, තිස්සය, මෙය වනාහි ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ, කුලපුත්රයන් හට සුදුසු නොවේ. නුඹ යම් හෙයකින් කියන්නේ වෙහිද, කියන වචන ඉවසන්නේ වෙහිද, තිස්සය, මෙය වනාහි ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදිවූ, කුලපුත්රයන් හට සුදුසුය.” භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනාකොට ඊට අනතුරුව මේ ගාථාව දේශනාකළ සේක:
කවර හෙයින් කිපෙන්නෙහිද? නොකිපෙව. තිස්සය, නුඹට ක්රොධ නොකිරීම ශ්රේෂ්ඨය. තිස්සය, ක්රෝධය, මානය සහ ගුණමකු බව නැති කරනු සඳහා බ්රහ්මචර්ය්යාවෙහි හැසිරේයයි.
9. 1. 10.
ථෙරනාම සූත්රය
404. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුණ වනයෙහි) වාසයකරන සේක. එසමයෙහි වනාහි ථෙරනම් එක්තරා භික්ෂුවක්තෙම තනියම වාසය කරන්නේද, තනියම වාසය කිරීමෙහි ගුණ කියන්නේද වෙයි. ඒ මහණතෙම තනියම ගමට පිණ්ඩපාතයේ යයි. තනියම ආපසු එයි. තනියම, රහසිගතව හිඳියි. තනියම සක්මන් කෙරෙයි.