9. 1. 11.
කප්පින සූත්රය
405. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කප්පිණ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. භාග්යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් මහාකප්පිණ තෙරුන් දුරදීම දුටුසේක. දැක, භික්ෂූන්හට කථාකළ සේක: “මහණෙනි, තෙපි එන්නාවූ සුදුපැහැයෙන් යුක්තවූ සිහින්වූ, උස්වූ නැහැයකින් යුක්තවූ, ඒ මහණ දක්නහුද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ඒ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ භික්ෂුව විසින් සමනොවදිනලද විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුලපුත්රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්රහ්මචර්ය්යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියායි.” භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක:
ගෝත්ර සොයන්නාවූ යම් සත්වයෝ වෙත්ද, (ඔවුන් කෙරෙහි) ක්ෂත්රියතෙම ශ්රේෂ්ඨ වෙයි. දෙවි මිනිසුන් කෙරෙහි අෂ්ටවිද්යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්ත තැනැත්තේ ශ්රේෂ්ඨ වෙයි.
සූර්ය්යයා දවල් බබලයි. චන්ද්රයා රෑ බබලයි. ක්ෂත්රියතෙම සන්නාහසන්නද්ධ වූයේ බබලයි. ක්ෂීණාශ්රව තෙම ධ්යානයෙන් යුක්ත වූයේ බබලයි. එහෙත් බුදු රජාණන් වහන්සේ දිවා රෑ දෙක්හිම තේජසින් බබලන සේක.
9. 1. 12.
සහාය සූත්රය
406. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කප්පින තෙරුන්ගේ සද්ධි විහාරිකවූ, මිත්ර භික්ෂූන් දෙනමක් වනාහි භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. භාග්යවතුන් වහන්සේ එන්නාවූ, ඒ භික්ෂූන් දුරදීම දුටු සේක. දැක, භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි එන්නාවූ, මහා කප්පින තෙරුන්ගේ සද්ධිවිහාරිකයන්වූ, ඒ මිත්ර මහණුන් දෙනම දක්නහුද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ඒ මහණුන් දෙනම වනාහි මහත්වූ ඍද්ධියෙන් යුක්ත වූවෝය. මහත්වූ ආනුභාවයෙන් යුක්තවූවෝය. ඒ මහණුන් විසින් සමනොවදිනලද විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුල පුත්රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, මාර්ග බ්රහ්මචර්ය්යාව අවසාන කොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙත්යයි” වදාළ සේක. භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළ සේක:
මේ මිත්ර භික්ෂූන් දෙනම වනාහි බොහෝ කාලයක් මුළුල්ලෙහි එක්වූවාහුය. මොවුන්හට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද මේ සද්ධර්මය ඒකාන්තයෙන් ගැලපෙයි.
භාග්යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මයෙහි (මේ මහණුන් දෙනම) මහාකප්පින තෙරුන් විසින් මනාකොට හික්මවනලදහ. සේනාව සහිතවූ මාරයා දිනා අන්තිම දේහය (ශරීරය) දරත්යයි.
පළමු වර්ගයයි.
එහි උද්දානය:
කෝලිත සූත්රය, සාරිපුත්ත සූත්රය, ඝට සූත්රය, නව සූත්රය, සුජාත සූත්රය, භද්දිය සූත්රය, විසාඛ සූත්රය, නන්ද සූත්රය, තිස්ස සූත්රය, ථෙර සූත්රය, කප්පින සූත්රය සහ සහාය සූත්රයදැයි මේ සංයුත්තයෙහි සූත්ර දොළොසකි.
භික්ඛු සංයුත්තය නිමි.
නිදාන වර්ගයේ සංයුත්ත උද්දානය:
මෙහි නිදාන, අභිසමය, ධාතු, අනමතග්ග, කස්සප, ලාභ සත්කාර, රාහුල, ලක්ඛණ, ඕපම්ම සහ භික්ඛු සංයුත්තයයි කියා සංයුත්ත වේ. දුතියො තෙන පවුච්චතීති.
නිදාන වර්ගය නිමි. නිදානවග්ගසංයුත්තපාළි නිට්ඨිතා.