8. 1. 6.
ධනුග්ගහ සූත්රය
388. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්සේ වනාහි (දස දොළොස් වර්ෂයක්, ආචාර්ය්ය කුලයෙහි ඉගෙනගන්නාලද ශිල්ප ඇත්තාවූ) බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජ කුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ සතර දෙනෙක් සතර දිසාවෙහි සිටියාහු වෙත්ද, ඉක්බිති පුරුෂයෙක් එන්නේය. (අවුත්) ‘ඉගෙණගන්නාලද, ශිල්ප ඇත්තාවූ බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජ කුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ සතර දෙනෙක් සතර දිගින් විදිනලද හී පොළොවෙහි නොපිහිටි කල්හිම අල්ලාගෙන එන්නෙමියි’ කියන්නේ නම්, මහණෙනි, කෙසේ සිතන්නහුද? ජව වේගයෙන් යුක්තවූ, ඒ පුරුෂතෙම කෙළ පැමිණි ජවවේගයෙන් යුක්තවූයේයයි කීමට සුදුසු වෙයිද?”
“ස්වාමීනි, (දස දොළොස් වර්ෂයක් මුළුල්ලෙහි) ඉගෙන ගන්නාලද ශිල්ප ඇත්තාවූ, බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජකුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ, දුනු දරන්නාවූ එකකු විසින් විදිනලද හීය පොළොවෙහි නොපිහිටි කල්හි අල්ලාගෙන එන්නේ නම්, ජවවේගයෙන් යුක්තවූ ඒ පුරුෂ තෙමේය කෙළපැමිණි ජවවේගයෙන් යුක්තවූයේයයි කීමට සුදුසුය. (දස දොළොස් වර්ෂයක් මුළුල්ලෙහි) ඉගෙන ගන්නාලද ශිල්ප ඇත්තාවූ, බොහෝ කාලයක් මුළුල්ලෙහි පුහුණු කරන ලද්දාවූ, රාජකුලාදියෙහිදී දක්වනලද ශිල්ප ඇත්තාවූ, (පුරුෂයින් දෙදහසක) ශක්තියෙන් යුක්තවූ දුනු දරන්නාවූ, සතරදෙනෙකු විසින් විදිනලද හී අල්ලාගෙන එන්නේනම් ඔහුගේ ජවවේගය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය (වේගය) යම්සේද, ඊට වඩා චන්ද්ර සූර්ය්යයන්ගේ ජවය (වේගය) අතිශයින් ශීඝ්රය. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම්සේද, චන්ද්ර සූර්ය්යයන්ගේ ජවය යම්සේද, ඊට වඩා චන්ද්ර සූර්ය්යයන්ගේ ඉදිරියෙහි දුවන්නාවූ යම් දෙවියෝ වෙත්ද, ඒ දෙවියන්ගේ ජවය ඉතා සීඝ්රය. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම්සේද, චන්ද්ර සූර්ය්යයන්ගේ ජවය යම්සේද, චන්ද්ර සූර්ය්යයන්ගේ ඉදිරියෙහි දුවන්නාවූ, යම් දෙවියෝ වෙත්ද, ඒ දෙවියන්ගේ ජවය යම්සේද, ඊට වඩා සීඝ්රව ආයුසංස්කාරයෝ ක්ෂය වෙත්.”
“මහණෙනි, එනිසා, මෙහිදී මෙසේ හික්මිය යුතුයි, (කෙසේද?) ‘අප්රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
8. 1. 7.
ආණි සූත්රය
389. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. (දස භාගයක් අයබදු ගන්නා හෙයින්) ‘දසාරභ’ නම් ක්ෂත්රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් විය. ‘දසාරභ’ නම් මිහිඟු බෙරය පැළුණු කල්හි අන්යවූ ඇණයක් දැමූහ. මහණෙනි, මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ අතුරුදහන් විය. ඇණ සමූහයම ඉතිරිවිය යන ඒ කාලය වනාහි වූයේය.
“මහණෙනි, එසේම (පාළිවශයෙන්) ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්යතා ධර්මය ප්රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්රාන්තයෝ වෙත්ද, ඒ සූත්රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ඒ ධර්මයන් උගතයුතුයයි, පුහුණු කළයුතුයයි, නොසිතත්ද, කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්රාන්තයෝ වෙත්ද, ඒ සූත්රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙත්ද, කන් නමත්ද, දැනගැනීම පිණිස සිත පිහිටුවත්ද, ඒ ධර්මයන්ද උගතයුතුයයි පුහුණු කළයුතුයයි සිතත්ද, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහුය.”
“මහණෙනි, මෙසේ (පාළිවශයෙන්) ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත් වැදෑරුම් ශූන්යතා ධර්මය ප්රකාශ කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ, යම් ඒ සූත්රාන්තයෝ වෙත්ද, මේ සූත්රාන්තයන්ගේ අතුරුදන්වීම වන්නේය. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (පාළිවශයෙන්) ‘ගැඹුරුවූ ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්යතා ධර්මය ප්රකාශ කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ, යම් ඒ සූත්රාන්තයෝ වෙත්ද, ඒ සූත්රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙන්නෙමු. කන් නමන්නෙමු. දැනගැනීම පිණිස සිත පිහිටුවන්නෙමු. ඒ ධර්මයන් උගතයුතුයයි පුහුණු කළ යුතුයයි කල්පනා කරන්නෙමුය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”