8. 1. 7.
ආණි සූත්‍රය
389. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පෙර වූ දෙයක් කියමි. (දස භාගයක් අයබදු ගන්නා හෙයින්) ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් විය. ‘දසාරභ’ නම් මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ. මහණෙනි, මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ අතුරුදහන් විය. ඇණ සමූහයම ඉතිරිවිය යන ඒ කාලය වනාහි වූයේය.
“මහණෙනි, එසේම (පාළිවශයෙන්) ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ඒ ධර්මයන් උගතයුතුයයි, පුහුණු කළයුතුයයි, නොසිතත්ද, කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙත්ද, කන් නමත්ද, දැනගැනීම පිණිස සිත පිහිටුවත්ද, ඒ ධර්මයන්ද උගතයුතුයයි පුහුණු කළයුතුයයි සිතත්ද, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහුය.”
“මහණෙනි, මෙසේ (පාළිවශයෙන්) ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත් වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශ කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, මේ සූත්‍රාන්තයන්ගේ අතුරුදන්වීම වන්නේය. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (පාළිවශයෙන්) ‘ගැඹුරුවූ ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශ කරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙන්නෙමු. කන් නමන්නෙමු. දැනගැනීම පිණිස සිත පිහිටුවන්නෙමු. ඒ ධර්මයන් උගතයුතුයයි පුහුණු කළ යුතුයයි කල්පනා කරන්නෙමුය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
8. 1. 8.
කලිඞ්ගරූපධාන සූත්‍රය
390. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහා වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන්ට කථා කළ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, දැන් වනාහි ලිච්ඡවි රජදරුවෝ ලීකොට්ටවල හිස තබමින් සහ පා තබමින් අප්‍රමාදව ශිල්ප ඉගෙනීමට සහ ආචාර්‍ය්‍යයන් ඇසුරු කිරීමෙහි අප්‍රමාදව උට්ඨාන වීර්‍ය්‍යයෙන් යුක්තව, වාසය කෙරෙති. මගධ දෙශයෙහිවූ, වේදේහි පුත්‍රවූ, අජාසත් රජතෙම ඒ ලිච්ඡවීන්ගේ සිදුරක් නොලබන්නේය. අවසරයක් නොලබන්නේය. මහණෙනි, අනාගත කාලයෙහි ලිච්ඡවි රජදරුවෝ සිව්මැළි වූවාහු, මෘදු මොළොක් අත් පා ඇත්තාහු, පුළුන්කොට්ට ආදියෙන් සැදුම්ලත් මෘදු යහනාවන්හි ඉර පායනතුරු සයනය කරන්නාහුය. මගධ දේශයෙහිවූ, වේදේහ පුත්‍රවූ අජාසත් රජතෙම ඒ ලිච්ඡවීන්ගේ සිදුරක් ලබන්නේය. අවසරයක් ලබන්නේය.
“මහණෙනි, (දැන්) වර්තමාන කාලයෙහි මහණහු ලීකොට්ටවල හිස තබමින්, පා තබමින් භාවනායෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව වාසය කෙරෙති. පවිටුවූ මාරතෙම ඒ මහණහුන්ගේ සිදුරක් නොලබන්නේය. අවසරයක් නොලබන්නේය. මහණෙනි, අනාගත කාලයෙහි මහණහු සිව්මැළි වූවාහු, මෘදු මොළොක් අත් පා ඇත්තාහු, පුළුන් කොට්ට ආදියෙන් සැදුම්ලත් මෘදු යහනාවන්හි ඉර පායන තෙක් සයනය කරන්නාහුය. පවිටු මාරතෙම ඒ මහණුන්ගේ සිදුරක් ලබන්නේය. අවසරයක් ලබන්නේය.
“මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘ලීකොට්ටවල හිස තබමින්, පා තබමින් භාවනායෙහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, වාසය කරන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”
8. 1. 9.
නාග සූත්‍රය
391. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි එක්තරා නවක (අලුත මහණවූ) භික්ෂුවක් බොහෝ වේලා කුලයන් කරා පැමිණ වාසය කරයි. ඒ මේ නවක මහණහට සෙසු මහණහු මෙසේ කීවාහුය. “ඇවැත්තෙම, බොහෝ වේලා කුලයන් කරා පැමිණ වාසය නොකරවයි” කියායි. සෙසු මහණහුන් විසින් කියනු ලබන්නාවූ, ඒ නවක මහණතෙම මෙසේ කීයේය. “මේ ස්ථවිර භික්ෂූහුද කුලයන් කරා පැමිණිය යුතුයයි හඟින්නහුය. මම වනාහි කිනම් කාරණයක් නිසා නොපැමිණෙන්නෙම්ද?” කියායි.
ඉක්බිති බොහෝ භික්ෂූහු වනාහි භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, මේ ශාසනයෙහි එක්තරා අලුත් භික්ෂුවක් බොහෝ වේලා කුලයන් කරා පැමිණෙයි. ඒ මොහුට භික්ෂූහු මෙසේ කීවාහුය. ‘ආයුෂ්මත්තෙම කුලයන් කරා බොහෝ වේලා නොපැමිණෙව’ කියායි. ඒ මහණතෙම භික්ෂූන් විසින් කියනු ලබන්නේ මෙසේ කීයේය. ‘මේ ස්ථවිර භික්ෂූහුද කුලයන් කරා පැමිණිය යුතුයයි හඟින්නාහුය. මම වනාහි කිනම් කාරණයක් නිසා නොපැමිණෙම්ද?’ කියායි.