7. 1. 5.
අසි සූත්‍රය
206. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, අසිලෝම (කඩු වැනි ලොම් ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඒ කඩු අහසට නැගි නැඟී, ඒ අසිලෝම ප්‍රේතයාගේ කයෙහිම වැටේ. ඒ අසිලෝම ප්‍රේතයා බැගෑපත් හඬ නඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය, කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේවිය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. “මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම සූකරිකයෙක් (හූරන් මරා ජීවත්වන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
7. 1. 6.
සත්ති සූත්‍රය
207. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර, සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහ නුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. ‘ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, සත්තිලෝම (ආයුධ වැනි ලොම් ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඒ ආයුධ අහසට නැගි නැගී, ඒ සත්තිලෝම ප්‍රේතයාගේ කයෙහිම වැටේ. ඒ සත්තිලෝම ප්‍රේතයා බැගෑපත් හඬනඟයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. “ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නාලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. “මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ද්වාගවිකයෙක් (මුවන් මරා ජීවත් වන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
7. 1. 7.
උසු සූත්‍රය
208. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි වාසයකරනසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය, වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර හට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි.” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩ හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම උසුලෝම (ඊතලවැනි ලොම් ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඒ ඊතල නැගි නැගී ඒ උසුලෝම ප්‍රේතයාගේ කයෙහි වැටේ, ඒ උසුලෝම ප්‍රේතයා බැගෑපත්ව හඬ නගයි. ඇවැත ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි, මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය, කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළසේක. “මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. “මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම කාරණිකයෙක් (රාජාපරාධකාරයන් විද මරන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
7. 1. 8.
සුචි සූත්‍රය
209. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරණසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍රසිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළකිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි.” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬුපිණිස හැසිර, බතින්පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන්කරන්නාවූ, සුචිලෝම (ඉදිකටුවැනි ලොම් ඇති) ප්‍රේතයකු දැක්කෙමි. ඔහුගේ ඒ ඉදිකටු අහසට නැගි නැඟී ඔහුගේම කයෙහි වැටේ, ඒ සුචිලෝම ප්‍රේතයා බැගෑපත් හඬ නගයි. ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. “මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.” “මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම සූතයෙක් (අසුන් හික්මවන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශේෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
7. 1. 9.
සඛ්ඛියති සූත්‍රය
210. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍රසිවුරුගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්වහන්ස, (ඔබවහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? ‘ඇවැත්, ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩ හුන්නාහුය, එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත, ගිජ්ඣකූටපර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන්කරන්නාවූ, සුචිලෝම (ඉදිකටු වැනි ලොම් ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. ඔහුගේ ඒ ඉදිකටු හිසින් ඇතුල්ව මුඛයෙන් නික්මෙයි. මුඛයෙන් ඇතුල්ව පපුවෙන් නික්මෙයි. පපුවෙන් ඇතුල්ව බඩින් නික්මෙයි. බඩින් ඇතුල්ව කළවෙන් නික්මෙයි. කළවෙන් ඇතුල්ව කෙණ්ඩයෙන් නික්මෙයි. කෙණ්ඩයෙන් ඇතුල්ව පතුලෙන් නික්මෙයි. ඒ සුචිලෝම ප්‍රේතයා බැගෑපත්ව හඬ නගයි. ඇවැත්නි ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි, මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය.’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. “මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම සූචකයෙක් (කේලාම් කියන්නෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
7. 1. 10.
අණ්ඩභාරී සූත්‍රය
211. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරුගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද? “ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” ‘ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, කුම්භණ්ඩ (කලයක් පමණ අණ්ඩය ඇති) ප්‍රේතයෙකු දැක්කෙමි. හෙතෙම යන කල්හිත් ඒ අණ්ඩය කරෙහි තබාගෙනම යෙයි. හිඳින්නේත් ඒ අණ්ඩයෙහිම හිඳියි. යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද එළව, එළවා ඒ මොහුගේ (කලයක් පමණ අණ්ඩය) උදුරා දමති. විනාශ කෙරෙති. ඒ කුම්භණ්ඩ ප්‍රේතයා බැගෑපත් හඬ නඟයි.” “ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි.” ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක. “මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති.” “මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙමි නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය. “මහණෙනි, මේ සත්වතෙම මේ රජගහනුවරම ගාමකූටයෙක් (කූට විනිශ්චයකාරයෙක්) විය. හෙතෙම ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.
පළමුවෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
අට්ඨි, පේසි යන ප්‍රේතයන් දෙදෙන ගෝඝාතකයෝ වූහ. මංස පිණ්ඩ (මස් පිඬු) ප්‍රේතයා සාකුණිකයෙක් (පක්ෂීන් මරා ජීවත් වන්නෙක්) විය. නිච්ඡවි (සම නැති) ප්‍රේතයා එළුවන් මරා ජීවත් වන්නෙක් විය. අසිලෝම ප්‍රේතයා සූකරිකයෙක් (හූරන් මරා ජීවත් වන්නෙක්) විය. සත්ති ලෝම ප්‍රේතයා (මුවන් මරා ජීවත් වන්නෙක්) විය. උසුලෝම ප්‍රේතයා (රාජාපරාධකාරයන් විද මරන්නෙක්) විය. සූචිලෝම ප්‍රේතයා (අසුන් හික්ම වන්නෙක්) විය. සූචිලෝම නම් යම් ප්‍රේතයෙකු වසනු ලැබේද හේ කේලාම් කියන්නෙක් විය. අණ්ඩභාරී ප්‍රේතයා කූට (හොර) විනිශ්චයකාරයෙක් විය. සිඛ්ඛියති යයි කියා මේ වර්ගයෙහි සූත්‍ර දශයෙකි