5. 4. 3.
3. ධම්ම සූත්රය
429. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද නැසුණු කුසල් සිත් ඇති දේවදත්ත මහණහුගේ කුසල මූලය කුශල ධර්මය විනාශයට ගියේය. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි තොපවිසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 4. 4.
4. සුක්ක සූත්රය
430. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනාලද නැසුණු කුසල් සිත් ඇති දේවදත්ත මහණහුගේ කුසල ධර්මය විනාශයට ගියේය.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
5. 4. 5.
5. පක්කන්ත සූත්රය
331. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ දේවදත්ත ගිය නොබෝ කලකින් රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ දෙවදත්ත අරබයා භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, තමාගේ විනාශය පිණිස දෙවදත්තහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළවිය. තමාගේ පිරිහීම පිණිස දෙවදත්තහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළවිය.
“මහණෙනි, යම්සේ කෙසෙල් ගස වනාහි තමාගේ විනාශය පිණිස ඵල දරයිද, පිරිහීම පිණිස ඵලදරයිද, මහණෙනි, මෙසේම වනාහි තමාගේ විනාශය පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළවිය. පිරිහීම පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළවිය.
“මහණෙනි, යම්සේ හුණ ගස වනාහි තමාගේ විනාශය පිණිස ඵලදරයිද, පිරිහීම පිණිස ඵල දරයිද, මහණෙනි, එසේම වනාහි තමාගේ විනාශය පිණිස දේවදත්ත මහණ හට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළවිය. පිරිහීම පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළවිය.
මහණෙනි, යම්සේ බට ගස වනාහි තමාගේ විනාශය පිණිස ඵල දරයිද, පිරිහීම පිණිස ඵල දරයිද, මහණෙනි, එසේම වනාහි තමාගේ විනාශය පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළවිය. පිරිහීම පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්රශංස පහළවිය.
මහණෙනි, යම්සේ වනාහි අශ්වතරීය (කොටළුවාට දාව වෙළඹ කුස උපන්නී) තමාගේ විනාශය පිණිස ගැබ් ගන්නීද, පිරිහීම පිණිස ගැබ් ගන්නීද, මහණෙනි, මෙසේම වනාහි තමාගේ විනාශය පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළ විය. පිරිහීම පිණිස දේවදත්ත මහණහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළ විය.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.” භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. ශාස්තෲන් වහන්සේ මෙය වදාරා අනතුරුව ශාස්තෲන් වහන්සේ මේ ගාථාව දේශනා කළසේක.
“ඒකාන්තයෙන් ඵලය කෙසෙල් ගස යම්සේ නසයිද, ඵලය උණ ගස යම්සේ නසයිද, ඵලය බට ගස යම්සේ නසයිද, ගර්භය අශ්වතරිය (කොටලුවාට දාව වෙළඹ කුස උපන්නීය.) යම්සේ නසයිද, එසේම සත්කාරය ලාමක පුරුෂයා නසයි.”
5. 4. 6.
6. රථ සූත්රය
332. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුන වනයෙහි) වාසය කරන සේක. එකල්හි වනාහි අජාසත් කුමාරයා දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස රථ පන්සියයකින් උදේ සවස යයි. ගෙන යායුතු බත් හැලි පන්සියයක්ද ගෙනයයි. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නාහුය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, අජාසත් කුමාරයා වනාහි දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස උදේ සවස රථ පන්සියයකින් යයි. ගෙන යායුතු බත් සැළි පන්සියයක්ද ගෙනයයි කියායි.”
“මහණෙනි, දේවදත්ත මහණහුගේ ලාභ සත්කාර කීර්ති ප්රශංසාවට සතුටු නොවව්. මහණෙනි, යම්තාක් අජාසත් කුමාරයා දේවදත්ත මහණහට උපස්ථාන කිරීම පිණිස උදේ සවස රථ පන්සියයකින් යන්නේද, ගෙන යායුතු බත්සැළි පන්සියයකුත් ගෙන යන්නේද, මහණෙනි, ඒතාක් දේවදත්ත මහණහට කුශල ධර්මයන්හි හානියක්ම කැමැතිවිය යුත්තේය. වෘද්ධියක් (වැඩීමක්) කැමැති නොවිය යුත්තේය.