5. 3. 6.
6. ශ්රමණ බ්රාහ්මණ සූත්රය
322. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, යම්කිසි ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසාවන්ගේ ඇතිවීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිපරිදි නොදනිත්ද, (ඔවුහු) තමන් දැන ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසාවන්ගේ සමුදය (ඇතිවීම) ද විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති පරිදි දනිත්ද, (ඔවුහු) තමන් දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කරත්.
5. 3. 7.
7. ශ්රමණ බ්රාහ්මණ සූත්රය
323. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා සිව්පස නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසාවන්ගේ හේතුව නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසාවන්ගේ නැතිවීම නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා නැතිකිරීමට පැමිණෙන මාර්ගය නොදනිත්ද, (ඔවුහු) තමන් දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසාව දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා ඇතිවීමේ හේතුව දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසාවන්ගේ නැතිවීම දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා නැතිකිරීමට පැමිණෙන මාර්ගය දනිත්ද (ඔවුහු) තමන් දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙති.”
5. 3. 8.
8. ඡවි සූත්රය
324. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා දරුණුය. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි, සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ, ඇට සිඳියි. ඇට සිඳ, ඇටමිඳුලුවල හැපී සිටියි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. “මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
5. 3. 9.
9. රජ්ජු සූත්රය
325. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි. සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ, ඇට සිඳියි. ඇට සිඳ, ඇටමිඳුලුවල හැපී සිටියි.
‘මහණෙනි, යම්සේ වනාහි බලවත් පුරුෂයෙක්තෙම අශ්ව කෙඳිවලින් කළ රෑනකින් (කකුලේ) කෙණ්ඩය වෙළා තද කරන්නේ නම්ත ඒ රැහැන සිවිය සිඳින්නේය. සිවිය සිඳ, හම සිඳින්නේය. හම සිඳ, මස් සිඳින්නේය. මස් සිඳ නහර සිඳින්නේය. නහර සිඳ, ඇට සිඳින්නේය. ඇට සිඳ, ඇටමිදුලුවල හැපී සිටින්නේය. මහණෙනි, එසේම වනාහි ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි. සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිඳුලුවල හැපී සිටියි.
“මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා අපගේ කුසල්සිත විනාශ නොකෙරේවා’ යි මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 3. 10.
10. භික්ඛු සූත්රය
326. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම් ඒ ආශ්රවයන් ක්ෂය කළාවූ, රහත්වූ, භික්ෂුවක් වෙයිද, ඒ මහණහටද ලාභ සත්කාර කීර්ති ප්රශංසා අන්තරාය පිණිස වේයයි මම කියමි.”
මෙසේ දේශනා කළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන්වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, කවර හෙයකින් ක්ෂීණාශ්රව මහණහුට වනාහි ලාභ සත්කාර කීර්ති ප්රශංසා අන්තරාය පිණිසවේද?”
“ආනන්දය ඒ රහත් භික්ෂුවගේ වෙනස් නොවන යම් අර්හත් ඵල නම්වූ චේතොවිමුක්තියක් වේද, ලාභ සත්කාර කීර්ති ප්රශංසා ඒ චේතොවිමුක්තියට අන්තරාය කරයයි මම නොකියමි. “ආනන්දය, අප්රමාදවූ, කෙළෙස් තවන වීර්ය්ය ඇත්තාවූ, නිවන කරා යවන ලද සිත් ඇත්තාවූ, ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නාවූ (දිට්ඨධම්මසුඛවිහාරා අධිගතා), යම් ශ්රමණයෝ වෙත්ද, ඒ ශ්රමණයන්හට ලාභ සත්කාර කීර්ති ප්රශංසා අන්තරාය පිණිස වේයයි මම කියමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. “ආනන්දය, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා, දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර, කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
තුන්වෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
මාතුගාම සූත්රය, කල්යාණි සූත්රය, පුත්ර සූත්රය, ධීතු සූත්රය, සමණ බ්රාහ්මණ සූත්ර තුනය, ඡවි සූත්රය, රජ්ජු සූත්රය, සහ භික්ඛු සූත්රයදැයි මේ වර්ගයෙහි සූත්ර දසයකි.