5. 3. 4.
4. ධීතු සූත්‍රය
320. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, ශ්‍රද්ධාවත් උපාසිකාවක් තොමෝ ප්‍රියවූ, මනාපවූ, එකම දූහට මනාකොට කියන්නී මෙසේ කියන්නීය. (කෙසේද?) ‘දුවනියෙනි, ඛුජ්ජුත්තර උපාසිකාවද, නන්ද මාතෘවූ වේළුකණ්ඩකී උපාසිකාවද යම්සේද, එසේ වෙයි.’ කියන්නීය.
මහණෙනි, මේ ඛුජ්ජුත්තරා උපාසිකාවත්, වේළුකණ්ඩකී නන්දමාතා උපාසිකාවත් මාගේ ශ්‍රාවිකා උපාසිකාවන්ගේ තරාදිය වෙත්, මිනුම වෙත්.
දියෙනියනි, ඉදින් නුඹ වනාහි ගිහිගෙයින් නික්ම, ශාසනයෙහි පැවිදි වන්නෙහි නම්, ඛේමා උප්පලවණ්ණා භික්ෂුණීන් යම්සේද, එසේ වේවයි’ කියන්නීය.
මහණෙනි මේ ඛේමා, උප්පලවණ්ණා භික්ෂුණීහු මාගේ ශ්‍රාවිකා භික්ෂුණීන්ගේ තරාදියයි, මිනුමයි.
‘දියෙනියනි, ශෛක්ෂ්‍යවූ, නොපැමිණි රහත් බැව් ඇත්තාවූ නුඹට වනාහි ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නොපැමිණෙත්වායි’ කියන්නීය.
“මහණෙනි, ඉදින් ශෛක්ෂ්‍යවූ (හික්මෙන්නාවූ) නොලත් රහත් බැව් ඇත්තාවූ, ඒ භික්ෂුණියට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවෝ පැමිණෙද්ද ඒ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවෝ ඔහුට අන්තරාය පිණිස වෙයි.
මහණෙනි, මෙසේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. “මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
5. 3. 5.
5. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
321. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිපරිදි නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, ඇතිවීම, ඇති පරිදි නොදනිත්ද, ලාභ, සත්කාර කීර්ති, ප්‍රශංසාවගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, නැතිවීම, ඇති පරිදි නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය ඇති පරිදි නොදනිත්ද (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති පරිදි දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, ඇතිවීම ඇති පරිදි දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද, නැතිවීම, ඇතිපරිදි දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ආශ්වාදයද, ආදිනවද, නිස්සරණයද නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය ඇතිපරිදි දනිත්ද (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කරත්.”
5. 3. 6.
6. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
322. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ ඇතිවීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිපරිදි නොදනිත්ද, (ඔවුහු) තමන් දැන ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ සමුදය (ඇතිවීම) ද විනාශයද, ආශ්වාදයද, ආදීනවද, නිස්සරණයද ඇති පරිදි දනිත්ද, (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කරත්.
5. 3. 7.
7. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
323. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා සිව්පස නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ හේතුව නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ නැතිවීම නොදනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නැතිකිරීමට පැමිණෙන මාර්ගය නොදනිත්ද, (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාව දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ඇතිවීමේ හේතුව දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගේ නැතිවීම දනිත්ද, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නැතිකිරීමට පැමිණෙන මාර්ගය දනිත්ද (ඔවුහු) තමන් දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙති.”
5. 3. 8.
8. ඡවි සූත්‍රය
324. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ, සම සිඳියි, සම සිඳ, මස් සිඳියි. මස් සිඳ, නහර සිඳියි. නහර සිඳ, ඇට සිඳියි. ඇට සිඳ, ඇටමිඳුලුවල හැපී සිටියි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. “මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”