5. 3. 10.
10. භික්ඛු සූත්රය
326. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම් ඒ ආශ්රවයන් ක්ෂය කළාවූ, රහත්වූ, භික්ෂුවක් වෙයිද, ඒ මහණහටද ලාභ සත්කාර කීර්ති ප්රශංසා අන්තරාය පිණිස වේයයි මම කියමි.”
මෙසේ දේශනා කළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන්වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, කවර හෙයකින් ක්ෂීණාශ්රව මහණහුට වනාහි ලාභ සත්කාර කීර්ති ප්රශංසා අන්තරාය පිණිසවේද?”
“ආනන්දය ඒ රහත් භික්ෂුවගේ වෙනස් නොවන යම් අර්හත් ඵල නම්වූ චේතොවිමුක්තියක් වේද, ලාභ සත්කාර කීර්ති ප්රශංසා ඒ චේතොවිමුක්තියට අන්තරාය කරයයි මම නොකියමි. “ආනන්දය, අප්රමාදවූ, කෙළෙස් තවන වීර්ය්ය ඇත්තාවූ, නිවන කරා යවන ලද සිත් ඇත්තාවූ, ඵල සමාපත්තියට පැමිණ වාසය කරන්නාවූ (දිට්ඨධම්මසුඛවිහාරා අධිගතා), යම් ශ්රමණයෝ වෙත්ද, ඒ ශ්රමණයන්හට ලාභ සත්කාර කීර්ති ප්රශංසා අන්තරාය පිණිස වේයයි මම කියමි.
“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. “ආනන්දය, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා, දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර, කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි,’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
තුන්වෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
මාතුගාම සූත්රය, කල්යාණි සූත්රය, පුත්ර සූත්රය, ධීතු සූත්රය, සමණ බ්රාහ්මණ සූත්ර තුනය, ඡවි සූත්රය, රජ්ජු සූත්රය, සහ භික්ඛු සූත්රයදැයි මේ වර්ගයෙහි සූත්ර දසයකි.
4. සතරවැනි වර්ගය
5. 4. 1.
1. භින්දි සූත්රය
327. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද නැසුණු කුසල් සිත් ඇත්තාවූ දෙවදත්තතෙමේ සංඝයා භේද කළේය. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරුකරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මියයුතුයි.”
5. 4. 2.
2. මූල සූත්රය
428. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද නැසුණු කුසල් සිත් ඇති දෙවදත්තගේ කුසල මූලධර්ම විනාශයට ගියේය. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 4. 3.
3. ධම්ම සූත්රය
429. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
‘මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය. අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද නැසුණු කුසල් සිත් ඇති දේවදත්ත මහණහුගේ කුසල මූලය කුශල ධර්මය විනාශයට ගියේය. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි ඒ නිසා මෙහිදී මෙසේ හික්මියයුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි’ මහණෙනි තොපවිසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 4. 4.
4. සුක්ක සූත්රය
430. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනාලද නැසුණු කුසල් සිත් ඇති දේවදත්ත මහණහුගේ කුසල ධර්මය විනාශයට ගියේය.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත්ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
5. 4. 5.
5. පක්කන්ත සූත්රය
331. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ දේවදත්ත ගිය නොබෝ කලකින් රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ දෙවදත්ත අරබයා භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, තමාගේ විනාශය පිණිස දෙවදත්තහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළවිය. තමාගේ පිරිහීම පිණිස දෙවදත්තහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පහළවිය.