5. 1. 8.
සිගාල සූත්රය
304. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, තෙපි රෑ එළිවෙන ජාමයෙහි හූ කියන්නාවූ ජර සිවලෙකුගේ ශබ්දයක් ඇසුවාහුද? “එසේය ස්වාමීනි.” මහණෙනි, මේ ජරසිගාලතෙම වනාහි මුළු ශරීරයෙහි ලොම් හැලී වණ සෑදෙන “උක්කණ්ටක” නම් රෝගයෙන් ස්පර්ශ කරන ලද්දේ, බෙනයට ගියේද සතුටු නොවෙයි. රුක්මුලට ගියේද සතුටු නොවෙයි. එළිමහන් තැනකට ගියේද සතුටු නොවෙයි. යම් යම් තැනකට යයිද, යම් යම් තැනෙක සිටියිද, යම් යම් තැනෙක හිඳියිද, යම් යම් තැනෙක හොවියිද, ඒ ඒ තැන විනාශයට පැමිණෙයි.
මහණෙනි, එසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද්දේ විනාශකරන ලද කුසල් සිත් ඇත්තේ ශූන්යාගාරයට ගියේද සතුටු නොවෙයි. රුක්මුලට ගියේද සතුටු නොවෙයි. එළිමහන් තැනට ගියේද සතුටු නොවෙයි. යම් යම් තැනක යයිද, යම් යම් තැනෙක සිටියිද, යම් යම් තැනක හිඳියිද, යම් යම් තැනෙක නිදයිද, ඒ ඒ තැන විනාශයට පැමිණෙයි. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරුකරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 1. 9.
වෙරම්බ සූත්රය
305. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, ඉහළ ආකාශයෙහි වේරම්බ නම් වාතයෝ හමත්. ඒ ඉහළ ආකාශයෙහි යම් පක්ෂියෙක් යයිද, ඔහු මේ වේරම්බ වාතයෝ වීසි කෙරෙති. වේරම්බ වාතයෙන් විසිකරන ලද ඒ පක්ෂියාගේ පාදයෝ අන් දිසාවකට යෙති, පියාපත් අන් දිශාවකට යෙති, හිස අන් දිශාවකට යයි, කය අන් දිසාවකට යයි.
මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද කුසල් සිත් ඇත්තේ පෙරවරු කාලයෙහි හැඳ පාත්ර සිවුරු ගෙන, නොරක්නා ලද්දාවූම කයින්ද, නොරක්නා ලද වචනයෙන්ද, නොරක්නා ලද සිතින්ද, එළඹ නොසිටියාවූ සිහියෙන්ද, සංවර නොකරන ලද ඉන්ද්රියයන්ගෙන්ද, යුක්තව ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි. ඒ මහණතෙම එහිදී නපුරු කොට හඳින ලද හෝ නපුරුකොට පොරොවන ලද හෝ ස්ත්රියක් දකියි. නපුරු කොට අඳින ලද හෝ නපුරු කොට පොරොවන ලද හෝ ස්ත්රියක් දුටු ඔහුගේ සිත රාගය තෙමේ විනාශ කරයි. හෙතෙම රාගයෙන් විනාශකළ සිත හේතුකොට ගෙන ශික්ෂාව ප්රතික්ෂෙප කොට ගිහිවෙයි. “වෙරම්බ” වාතයෙන් විසිකරන ලද පක්ෂියාගේ මෙන් ඒ ඔහුගේ සිවුරු අන් කෙනෙක් ගෙන යත්. අන් කෙනෙක් පාත්රය ගෙන යත්. අන් කෙනෙක් නිසීදනය ගෙන යත්. අන් කෙනෙක් ඉදිකටු ගුලාව ගෙන යත්. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 1. 10.
සගාථ සූත්රය
306. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, මම මේ ශාසනයෙහි ලාභ සත්කාරයෙන් මඩනාලද විනාශ කරන ලද කුසල් සිත් ඇති, ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ, ඇතැම් පුද්ගලයකු දකිමි.
මහණෙනි, මම මේ ශාසනයෙහි අසත්කාරයෙන් මඩනා ලද්දාවූ, විනාශ කළ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ ඇතැම් පුද්ගලයකු දකිමි.
මහණෙනි, මම මේ ශාසනයෙහි සත්කාරයෙන්ද, අසත්කාරයෙන්ද යන ඒ දෙකින්ම මඩනා ලද්දාවූ, විනාශ කළ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ ඇතැම් පුද්ගලයකු දකිමි.
මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් යෝගක්ක්ෂේමයේ අධිගමයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය: “උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.” මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනා කොට, ඊට අනතුරුව මේ ගාථා දෙකද වදාළසේක:
“අර්හත් ඵල සමාධියෙන් යුක්තව වාසය කරන්නාවූ යමෙකුගේ සත්කාර කිරීමෙන්ද, සත්කාර නොකිරීමෙන්ද යන දෙයාකාරයෙන්ම සමාධිය කම්පා නොවේද?”
“නිතර සමාධියෙන් යුක්තවූ මාර්ගඥානයෙන් හා විදර්ශනා ඥානයෙන් යුක්තවූ සතර උපාදානයන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිර්වාණයෙහි ඇලුණාවූ ඔහු සත්පුරුෂයයි කීහු.”
දාරුණ වර්ගය පළමුවැනියි
එහි උද්දානය:
දාරුණ සූත්රය, බාළිස සූත්රය, කුම්ම සූත්රය, දීඝ ලෝමී සූත්රය, මීළ්හක සූත්රය, අසනි සූත්රය, දිද්ධ සූත්රය, සිගාල සූත්රය, වේරම්බ සූත්රය සහ සගාථ සූත්රය දැයි මේ වර්ගයෙහි සූත්ර දසයකි.