5. 1. 4.
දීඝලොමිඵළක සූත්රය
300. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, යම්සේ වනාහි දික් ලොම් ඇති එලුදෙනක් කටු ලැහැබකට පිවිසෙන්නේ වේද, ඕ ඒ ඒ තැන ලැගෙන්නීය, ඒ ඒ තැන රැඳෙන්නීය, ඒ ඒ තැන බැඳෙන්නීය, ඒ ඒ තැන විනාශයට පැමිණෙන්නීය. මහණෙනි, එසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කළ කුසල් සිත් ඇත්තේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්රය ගෙන කුඩා ගමකට හෝ මහ ගමකට හෝ පිඬු පිණිස යන්නේද, හෙතෙම ඒ ඒ තැන ලැගෙයි, ඒ ඒ තැන රැඳෙයි, ඒ ඒ තැන බැඳෙයි, ඒ ඒ තැන්හිදී විනාශයට පැමිණෙයි. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 1. 5.
මීළ්හක සූත්රය (පුනේළක සූත්රය)
301. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, යම්සේ වනාහි අසූචි අනුභව කරන්නාවූ, අභ්යන්තරයෙහි අසූචි පිරුණාවූ, ගූථයෙන් පිරුණාවූ, අසූචියෙහි ජීවත්වන පණුවෙක් උගේ ඉදිරියෙහිද මහත්වූ අසූචි ගොඩක් වෙයි. ඒ අසූචි අනුභව කොට ජීවත්වෙන පණුවා අනෙක් පණුවන් පහත් කොට හඟියි: “මම වනාහි අසූචි අනුභව කරන්නෙක්මි, අභ්යන්තරයෙහි අසූචියෙන් පිරුණෙක්මි, ගූථයෙන් පිරුණේ වෙමි, මාගේ ඉදිරියෙහිද මේ මහත්වූ අසූචි ගොඩක් ඇත්තේය”යි.
මහණෙනි, එසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කළ කුසල් සිත් ඇත්තේ පෙරවරු කාලයෙහි හැඳ, පොරවා පාත්රය ගෙන ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යන්නේය. හෙතෙම එහිදී ඇතිතාක් වළඳන ලද්දේද වෙයි, හෙට පිණිස ආරාධනා කරන ලද්දේද වෙයි, ඔහුගේ පාත්රයද පිරුණේ වෙයි. හෙතෙම ආරාමයට ගොස්, භික්ෂු සංඝයා මැද පුරසාරම් දොඩයි: “මම ඇතිතාක් වැළඳුයේ වෙමි, හෙට දවස පිණිසද ආරාධනා කරනු ලැබුයේ වෙමි, මාගේ මේ පාත්රයද පිරුණේ වෙයි, මම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙමි. මේ අන්ය භික්ෂූහු වනාහි ස්වල්ප පින් ඇත්තෝය, අල්පෙශාක්යයෝය, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකරද නොලබන්නෝය” කියායි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති ප්රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද කුසල් සිත් ඇත්තේ අන්යවූ සිල්වත් භික්ෂූන් පහත්කොට හඟියි. මහණෙනි, එය වනාහි ඒ මෝඩ පුරුෂයාට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස හේතුවෙයි. මහණෙකි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 1. 6.
අසනිවිචක්ක සූත්රය
302. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, හෙනසැරය කාහට වදීවාද? නො පැමිණෙන ලද රහත් ඵලය ඇති ඒ ශෛක්ෂ පුද්ගලයාහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පැමිණේවා. “හෙන සැරය” යනු මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසාවට නමකි. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය, -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරුකරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.
5. 1. 7.
දිද්ධවිසල්ල සූත්රය
303. සාවත්ථියං– (මා විසින් මෙසේ අසනලදී...)
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ-
මහණෙනි, විසපෙවූ හීයෙන් කාහට විදේවාද? නොපැමිණෙන ලද රහත් බැව් ඇත්තාවූ ඒ ශෛක්ෂයාහට ලාභ සත්කාර කීර්ති ප්රශංසා පැමිණේවා. “විස පෙවූ හීය” යනු මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසාවන්ට නමකි. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුය -පෙ- [උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු -පෙ-] මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.