3. 1. 9.
දණ්ඩ සූත්රය
272. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, යම්සේ වනාහි ඈත අහසට වීසිකරනලද දණ්ඩ වනාහි වරෙක මුලින් බිම වදින්නේවේද, වරෙක මැදින් බිම වදින්නේවේද, වරෙක අගින් බිම වදින්නේවේද, එසේම මහණෙනි, අවිද්යාවෙන් වටකරන ලද්දාවූ, තණ්හාවෙන් බඳින ලද්දාවූ, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයෝ වරෙක මේ ලෝකයෙන් පරලෝකයට යෙති. වරෙක පරලෝකයෙන් මේ ලෝකයට එති. ඊට හේතු කවරේද? “මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
3. 1. 10.
පුග්ගල සූත්රය
273. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවරවූ ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරනසේක. එහිදී වනාහි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙණෙන්නේය. මහණෙනි, මෙසේ කල්පයක් ඇවිදින්නාවූ, හැසිරෙන්නාවූ, එක් පුද්ගලයෙකුගේ මහත්වූ ඇටසැකිල්ල, ඇට ගොඩ, ඇට රාශිය, ඉදින් එකතුකරන්නෙම් වන්නේ නම් එකතු කරන ලද්දද විනාශ නොකරන්නේ නම් මේ වේපූල්ල පර්වතය යම්පමණද එපමණ වන්නේය. ඊට හේතු කවරේද? “මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි, මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
“භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. භාග්යවතුන් වහන්සේ මෙය වදාරා, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.
එක කල්පයක එක පුද්ගලයෙකුගේ ඇටගොඩ ‘වේපුල්ල’ පර්වතයක් හා සමාන වන්නේය යන මෙය මහර්ෂීවූ භාග්යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
එසේ කියනලද මහා වේපුල්ල පර්වතය වනාහි මගධරට වැස්සන්ගේ (අගනුවර) ගිරිබ්බජයෙහිවූ ගිජ්ඣකූට පර්වතයට උතුරෙන් පිහිටියේය.
යම් හෙයකින් දුක්ඛ සත්යයද, දුක්ඛ සමුදය සත්යයද, දුක්ඛ නිරෝධ සත්යයද, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්යය නම්වූ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයද යන චතුරාර්ය්ය සත්යයන් සම්යක් ප්රඥාවෙන් දකියිද,
(ඒ) පුද්ගලතෙම උඩත්පිරිසෙයින් සත්වරක් සසර ගමන්කොට, සියලු සංයෝජනයන් (බැඳුම්) කෙළවර කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.
පළමුවෙනි වර්ගය නිමි.
තස්සුද්දානං:
තිණකට්ඨ සූත්රය, පඨවි සූත්රය, අස්සු සූත්රය, ඛීර සූත්රය, පබ්බත සූත්රය, සාසප සූත්රය, සාවක සූත්රය, ගංගා සූත්රය, දණ්ඩ සූත්රය, සහ පුග්ගල සූත්රයදැයි මේ වර්ගයෙහි සූත්ර දසයකි.