3. 1. 10.
පුග්ගල සූත්‍රය
273. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරවූ ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙණෙන්නේය. මහණෙනි, මෙසේ කල්පයක් ඇවිදින්නාවූ, හැසිරෙන්නාවූ, එක් පුද්ගලයෙකුගේ මහත්වූ ඇටසැකිල්ල, ඇට ගොඩ, ඇට රාශිය, ඉදින් එකතුකරන්නෙම් වන්නේ නම් එකතු කරන ලද්දද විනාශ නොකරන්නේ නම් මේ වේපූල්ල පර්වතය යම්පමණද එපමණ වන්නේය. ඊට හේතු කවරේද? “මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි, මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
“භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.
එක කල්පයක එක පුද්ගලයෙකුගේ ඇටගොඩ ‘වේපුල්ල’ පර්වතයක් හා සමාන වන්නේය යන මෙය මහර්ෂීවූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
එසේ කියනලද මහා වේපුල්ල පර්වතය වනාහි මගධරට වැස්සන්ගේ (අගනුවර) ගිරිබ්බජයෙහිවූ ගිජ්ඣකූට පර්වතයට උතුරෙන් පිහිටියේය.
යම් හෙයකින් දුක්ඛ සත්‍යයද, දුක්ඛ සමුදය සත්‍යයද, දුක්ඛ නිරෝධ සත්‍යයද, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍යය නම්වූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයද යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක් ප්‍රඥාවෙන් දකියිද,
(ඒ) පුද්ගලතෙම උඩත්පිරිසෙයින් සත්වරක් සසර ගමන්කොට, සියලු සංයෝජනයන් (බැඳුම්) කෙළවර කිරීමෙන් දුක් කෙළවර කරන්නේ වෙයි.
පළමුවෙනි වර්ගය නිමි.
තස්සුද්දානං:
තිණකට්ඨ සූත්‍රය, පඨවි සූත්‍රය, අස්සු සූත්‍රය, ඛීර සූත්‍රය, පබ්බත සූත්‍රය, සාසප සූත්‍රය, සාවක සූත්‍රය, ගංගා සූත්‍රය, දණ්ඩ සූත්‍රය, සහ පුග්ගල සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.
2. දෙවැනි වර්ගය
3. 2. 1.
දුග්ගත සූත්‍රය
274. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, විරූපවූ අත් පා වලින් යුක්තවූ යම් දිළින්දෙකු (තොපි) දක්නහුද, මෙහිදී අප විසිනුත් මේ දීර්ඝ කාලයෙහිදී, මෙවැනි තත්වයක් විඳිනලදැයි නිෂ්ඨාවට (නිගමනයට) පැමිණිය යුතුයි. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරනලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 2. 2.
සුඛිත සූත්‍රය
275. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, (අලංකාරයෙන්) සැදුම් ලද්දාවූද, යම් සුඛිතවූවෙකු (තොපි) දක්නහුද, මෙහිදී අප විසිනුත් මේ දීර්ඝ කාලයෙහිදී, මෙවැනි තත්වයක් විඳිනලදැයි නිෂ්ඨාවට (නිගමනයට) පැමිණිය යුතුයි. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 2. 3.
තිංස සූත්‍රය
276. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි’ (හුනවනයෙහි) වාසය කරනසේක.
ඉක්බිති සියල්ලන්ම ආරණ්‍යකවූ, සියල්ලන්ම පිණ්ඩපාතිකවූ සියල්ලන්ම පාංසුකූලිකවූ, සියල්ලන්ම තේචීවරිකවූ, සියල්ලන්ම සංයෝජන සහිතවූ, (පෘථග්ජනවූ) තිසක් පමණවූ, පාවාරට වැසි භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකොට, එක් පැත්තක හුන්නාහුය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ සිත පහළවිය. ‘මේ තිසක් පමණ පාව්‍යෙයක භික්ෂූහු වනාහි සියල්ලෝම ආරණ්‍යක වූවාහුය. සියල්ලෝම පිණ්ඩපාතිකයහ. සියල්ලෝම පාංසුකූලිකයහ. සියල්ලෝම තේචීවරිකයහ. සියල්ලෝම සංයෝජන සහිතයහ. යම්සේ මේ ආසනයෙහිදීම මොවුන්ගේ සිත් (තණ්හාදී) ආශ්‍රවයන්ගෙන් දැඩිකොට නොගෙන ඉන් මිදෙත්ද (රහත්වෙත්ද) එසේ මම මොවුන්ට ධර්මය දේශනා කරන්නෙම් නම් ඉතා හොඳය’ කියායි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. “මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ දීර්ඝ කාලයෙහි ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, තොපගේ හිස් සිඳීමෙන් වැගුරුණාවූ, ගැලුවාවූ යම් ලෙයක් වේද, සතර මහා සාගරයෙහි යම් දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?”