3. 1. 5.
පබ්බත සූත්‍රය
268. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, කල්පය වනාහි කොතරම් දීර්ඝවේද?”
“මහණෙනි, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් අවුරුදු සියයක්ය කියා හෝ මෙතෙක් අවුරුදු දහසක්ය කියා හෝ මෙතෙක් අවුරුදු ලක්ෂයක්ය හෝ කියා ගණන් කිරීමට පහසු නොවේ. “ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?” “මහණ, හැකියයි” භාග්‍යවතුන්වහන්සේ වදාළසේක. “මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇති, පුළුලින් යොදුනක් ඇති, උසින් යොදුනක් ඇති, පලුදු රහිතවූ, සිදුරු රහිතවූ, ඒකඝනවූ, මහා ගල් පර්වතයක් වේද, ඒ ගල් පර්වතය පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් කසී සලුවකින් පිරිමදින්නේ වේද, මහණ, මේ ආකාරයෙන් ඒ මහා ගල් පර්වතය ගෙවීමට කෙළවරවීමට යන්නේය. කල්පය කෙළවර නොවන්නේය.
“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ මෙසේ දීර්ඝවූ කල්පයන්ගෙන් නොයෙක් කල්ප සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප දහස්ගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂගණන් සැරිසරන ලද්දේය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නො දකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 1. 6.
සාසප සූත්‍රය
269. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, කල්පය වනාහි කොපමණ දීර්ඝවේද?”
“මහණ, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් වර්ෂ සියයක්ය කියා හෝ මෙතෙක් වර්ෂ දහසක්ය කියා හෝ මෙතෙක් වර්ෂ ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.” “ස්වාමීනි, උපමාවක් දේශනාකිරීමට හැක්කේද?” “මහණ, හැක්කේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තාවූ, පුළුලින් යොදුනක් ඇත්තාවූ, උසින් යොදුනක් ඇත්තාවූ අබ පිරවූ, කොතගසන ලද්දාවූ, (මුදුන් කරන ලද්දාවූ,) යකඩින් කරන ලද ප්‍රාකාරයෙන් යුක්තවූ, නගරයක් වේද, ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් එක්එක් අබ ඇටය පිටට දමන්නේ වේද, මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවරවීමට, අවසාන වීමට යන්නේය, කල්පය කෙළවර නොවන්නේමය.
“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ, මෙසේ දීර්ඝවූ, කල්පයන්ට වනාහි නොයෙක් කල්පයන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂ ගණන් අදහස්කරන ලද්දේය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 1. 7.
සාවක සූත්‍රය
270. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, කොපමණ බහුලවූ කල්පයෝ වනාහි අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?”
“මහණෙනි, බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ ඉකුත්වූ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.” “ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?” “මහණෙනි, හැකියයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මේ ශාසනයෙහි අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත් වන්නාවූ, ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත්තාහුය. ඒ ශ්‍රාවකයෝ දිනපතා කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂයක් බැගින් සිහි කරන්නාහුය. මහණෙනි, ඒ ශ්‍රාවකයන් විසින් කල්පයෝ සිහිනොකරන ලද්දාහුම වූවාහුය. ඉක්බිති, ඒ අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත්වන්නාවූ, ඒ ශ්‍රාවකයෝ සතරදෙන අවුරුදු සියයක්, අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් කාලක්‍රියා කරන්නාහුය.
“මහණෙනි, මෙසේ වනාහි බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු, තණ්හාවෙන් බැඳුනු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.