3. 1. 6.
සාසප සූත්රය
269. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, කල්පය වනාහි කොපමණ දීර්ඝවේද?”
“මහණ, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් වර්ෂ සියයක්ය කියා හෝ මෙතෙක් වර්ෂ දහසක්ය කියා හෝ මෙතෙක් වර්ෂ ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.” “ස්වාමීනි, උපමාවක් දේශනාකිරීමට හැක්කේද?” “මහණ, හැක්කේයයි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තාවූ, පුළුලින් යොදුනක් ඇත්තාවූ, උසින් යොදුනක් ඇත්තාවූ අබ පිරවූ, කොතගසන ලද්දාවූ, (මුදුන් කරන ලද්දාවූ,) යකඩින් කරන ලද ප්රාකාරයෙන් යුක්තවූ, නගරයක් වේද, ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් එක්එක් අබ ඇටය පිටට දමන්නේ වේද, මහණ, මේ ක්රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවරවීමට, අවසාන වීමට යන්නේය, කල්පය කෙළවර නොවන්නේමය.
“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ, මෙසේ දීර්ඝවූ, කල්පයන්ට වනාහි නොයෙක් කල්පයන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂ ගණන් අදහස්කරන ලද්දේය. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 1. 7.
සාවක සූත්රය
270. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, කොපමණ බහුලවූ කල්පයෝ වනාහි අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?”
“මහණෙනි, බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ ඉකුත්වූ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.” “ස්වාමීනි, උපමාවක් දේශනා කිරීමට හැක්කේද?” “මහණෙනි, හැකියයි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මේ ශාසනයෙහි අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත් වන්නාවූ, ශ්රාවකයෝ සතර දෙනෙක් ඇත්තාහුය. ඒ ශ්රාවකයෝ දිනපතා කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂයක් බැගින් සිහි කරන්නාහුය. මහණෙනි, ඒ ශ්රාවකයන් විසින් කල්පයෝ සිහිනොකරන ලද්දාහුම වූවාහුය. ඉක්බිති, ඒ අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත්වන්නාවූ, ඒ ශ්රාවකයෝ සතරදෙන අවුරුදු සියයක්, අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් කාලක්රියා කරන්නාහුය.
“මහණෙනි, මෙසේ වනාහි බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතුව කවරේද? මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු, තණ්හාවෙන් බැඳුනු ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයාගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.
3. 1. 8.
ගංගා සූත්රය
271. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුන වනයෙහි) වාසය කරන සේක. ඉක්බිති එක්තරා බමුණෙක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ බමුණා භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයෙනි, කොපමණ බහුලවූ, කල්පයෝ අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?
“බමුණ, බොහෝ කල්පයෝ වනාහි අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.” “භවත් ගෞතමයිනි, උපමාවක් කීමට හැක්කේද?” “බමුණ, හැකිය”යි භාග්යවතුන් වහන්සේ වදාළසේක. බමුණ, යම්සේ වනාහි මේ ගංගා නදිය යම් තැනෙකින් පටන් ගනීද, යම් තැනකින් මහමුහුදට වැටෙයිද, මේ අතර යම් වැල්ලක් වේද, ඒ වැල්ල මෙතෙක් වැලිය කියා හෝ, මෙතෙක් වැලිඇට සියය කියා හෝ, මෙතෙක් වැලිඇට දහසය කියා හෝ, මෙතෙක් වැලිඇට ලක්ෂය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. බමුණ, අතීතවූ, ඉක්මගියාවූ, කල්පයන් වනාහි ඊට වඩා වැඩිය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ, මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතු කවරේද?
“බමුණ, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි, බමුණ, මෙසේ තොප විසින් දුක් අනුභව කරනලදී. දැඩි දුක් අනුභව කරනලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරනලදී. බමුණ, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”
මෙසේ දේශනා කළ කල්හි ඒ බ්රාහ්මණතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මග හෝ කියන්නේද, (ගණ අඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්යවතුන්වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණකොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම්කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකනසේක්වා.”
3. 1. 9.
දණ්ඩ සූත්රය
272. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී, ගමන්කරන්නාවූ සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේය. මුල් කොනත් නොපෙනෙන්නේය. මහණෙනි, යම්සේ වනාහි ඈත අහසට වීසිකරනලද දණ්ඩ වනාහි වරෙක මුලින් බිම වදින්නේවේද, වරෙක මැදින් බිම වදින්නේවේද, වරෙක අගින් බිම වදින්නේවේද, එසේම මහණෙනි, අවිද්යාවෙන් වටකරන ලද්දාවූ, තණ්හාවෙන් බඳින ලද්දාවූ, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයෝ වරෙක මේ ලෝකයෙන් පරලෝකයට යෙති. වරෙක පරලෝකයෙන් මේ ලෝකයට එති. ඊට හේතු කවරේද? “මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”