2. 1. 9.
ඵස්ස සූත්‍රය
233. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේ. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේ. වේදනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවේ. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවේ. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවේ. පරියේසනයාගේ නානත්වය නිසා ලාභයාගේ (ලැබීමේ) නානත්වය ඇතිවේ.”
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද? රූප ධාතුව, ශබ්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, ස්පර්ශ ධාතුව සහ ධම්ම ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේද? සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේද? සංකල්පනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇතිවේද? ස්පර්ශයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේද, වේදනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවේද? ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවේද? පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයන්ගේ නානත්වය ඇතිවේද? පරියේසනයාගේ නානත්වය නිසා ලාභයාගේ නානත්වය ඇතිවේද?
“මහණෙනි, රූප ධාතුව නිසා රූප සංඥාව ඇතිවේ. රූප සංඥාව නිසා රූප සංකල්පනාව ඇතිවේ. රූප සංකල්පනාව නිසා රූපසම්ඵස්සය ඇතිවේ. රූප සම්ඵස්සය නිසා රූප සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව උපදියි. රූපසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිසා රූපච්ඡන්දය ඇතිවේ. රූපච්ඡන්දය නිසා රූප පරිදාහය ඇතිවෙයි. රූප පරිදාහය නිසා රූප පරියේසනය ඇතිවෙයි. රූප පරියේසනය නිසා රූප ලාභය (රූපයන්ගේ ලැබීම) ඇතිවෙයි.
මහණෙනි, ශබ්දධාතුව නිසා -පෙ- මහණෙනි, ධර්මධාතුව නිසා ධර්මසංඥාව ඇති වේ. ධර්මසංඥාව නිසා ධර්මසංකල්පනාව ඇති වේ. ධර්මසංකල්පනාව නිසා ධර්මසම්ඵස්සය ඇති වේ. ධර්මසම්ඵස්සය නිසා ධර්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව ඇති වේ. ධර්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා ධර්මච්ඡන්දය ඇති වේ. ධර්මච්ඡන්දය නිසා ධර්මපරිදාහය ඇති වේ. ධර්මපරිදාහය නිසා ධර්මපරියේසනය ඇති වේ. ධර්මපරියේසනය නිසා ධර්මලාභය ඇති වේ.
“මහණෙනි, මෙසේ වනාහි ධාතුන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇතිවෙයි. ස්පර්ශයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවෙයි. වේදනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවෙයි. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවෙයි. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවෙයි. පරියේසනයාගේ නානත්වය නිසා ලාභයාගේ නානත්වය ඇතිවේ.”
2. 1. 10.
නෝඵස්ස සූත්‍රය
234. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇතිවෙයි. ස්පර්ශයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවෙයි. වේදනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවේ. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවෙයි. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවේ. පරියේසනයාගේ නානත්වය නිසා ලාභයාගේ නානත්වය ඇතිවෙයි. ලාභයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇති නොවේ. පරියේසනයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති නොවේ. පරිදාහයාගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇති නොවේ. ඡන්දයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇති නොවෙයි. වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇති නොවෙයි. ස්පර්ශයාගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇති නොවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇති නොවේ. සංඥාවන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවෙයි.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද? රූප ධාතුව, ශබ්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, ස්පර්ශ ධාතුව සහ ධම්ම ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේද? සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේද? සංකල්පනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇතිවේද? ස්පර්ශයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේද? වේදනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවෙයිද? ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවෙයිද? පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවෙයිද? පරියේසනයාගේ නානත්වය නිසා ලාභයාගේ නානත්වය ඇතිවෙයිද? ලාභයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇති නොවෙයිද? පරියේසනයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇති නොවේද? පරිදාහයාගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇති නොවේද? ඡන්දයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇති නොවේද? වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇති නොවේද? ස්පර්ශයාගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇති නොවේද? සංකල්පනාවන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇති නොවේද? සංඥාවන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේද?”
මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව ඇති වේ -පෙ- ශබ්දධාතුව -පෙ- ගන්ධධාතුව -පෙ- රසධාතුව -පෙ- ඵොට්ඨබ්බධාතුව -පෙ- මහණෙනි, ධර්මධාතුව නිසා ධර්මසංඥාව ඇති වේ. ධර්මසංඥාව නිසා -පෙ- ධර්මපරියේසනය ඇති වේ. ධර්මපරියේසනය නිසා ධර්මලාභය ඇති වේ. ධර්මලාභය නිසා ධර්මපරියේසනය ඇති නොවේ. ධර්මපරියේසනය නිසා ධර්මපරිදාහය ඇති නොවේ. ධර්මපරිදාහය නිසා ධර්මච්ඡන්දය ඇති නොවේ. ධර්මච්ඡන්දය නිසා ධර්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව ඇති නොවේ. ධර්මසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා ධර්මසම්ඵස්සය ඇති නොවේ. ධර්මසම්ඵස්සය නිසා ධර්මසංකල්පනාව ඇති නොවේ. ධර්මසංකල්පනාව නිසා ධර්මසංඥාව ඇති නොවේ. ධර්මසංඥාව නිසා ධර්මධාතුව ඇති නොවේ.
“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇතිවෙයි. ස්පර්ශයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවෙයි. වේදනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවෙයි. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවෙයි. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවෙයි. පරියේසනයාගේ නානත්වය නිසා ලාභයාගේ නානත්වය ඇති වෙයි. “ලාභ නානත්වය නිසා පරියේසන නානත්වය ඇති නොවෙයි. පරියේසන නානත්වය නිසා පරිළාභ නානත්වය ඇති නොවෙයි. පරිළාභ නානත්වය නිසා ඡන්ද නානත්වය ඇතිනොවෙයි. ඡන්දයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇති නොවෙයි. වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇති නොවෙයි. ස්පර්ශයාගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇති නොවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇති නොවේ. සංඥාවන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවෙයි.”
පළමුවන නානත්ත වර්ගය නිමි.
එහි උද්දානය:
ධාතු සූත්‍රයද, සම්ඵස්ස සූත්‍රයද, මෙය නො සමග ගෙන, නොඵස්ස සූත්‍රයද, අන්‍යවූ වේදනා සූත්‍රය සහ නො වේදනා සූත්‍රය යන දෙකද සමග මේ පස අද්ධ්‍යාත්මික පඤ්චකයයි (දත යුතුයි.) එසේම ධාතු සූත්‍රයද, සඤ්ඤා සූත්‍රයද මෙය නො සමග ගෙන, නොසඤ්ඤා සූත්‍රයද, අන්‍යවූ, ඵස්ස සූත්‍රය සහ නොඵස්ස සූත්‍රයයන් දෙකද සමග මේ පස බාහිර පඤ්චකයයි (දත යුතුයි.)