1. නානත්ත වර්ගය
2. 1. 1.
ධාතු සූත්රය
225. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මම තොපට ධාතූන්ගේ නානත්වය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක. “එසේය ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය (නොයෙක් බව) නම් කවරේද? චක්ඛුධාතුව, රූප ධාතුව, චක්ඛුවිඤ්ඤාණ ධාතුව, සොත ධාතුව, සද්දධාතුව, සොත විඤ්ඤාණ ධාතුව, ඝාන ධාතුව, ගන්ධධාතුව, ඝාන විඤ්ඤාණ ධාතුව, ජිව්හා ධාතුව, රස ධාතුව, ජිව්හා විඤ්ඤාණ ධාතුව, කාය ධාතුව, ඵොට්ඨබ්බ ධාතුව, කාය විඤ්ඤාණ ධාතුව, මනොධාතුව, ධම්මධාතුව සහ මනොවිඤ්ඤාණ ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.”
2. 1. 2.
සම්ඵස්ස සූත්රය
226. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය (නොඑක් බව) ඇතිවේ. මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද? චක්ඛුධාතුව, සොතධාතුව, ඝාන ධාතුව, ජිව්හාධාතුව, කායධාතුව සහ මනොධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇතිවේද? “මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය ඇතිවේ. සොතධාතුව නිසා සොතසම්ඵස්සය ඇතිවේ. ඝානධාතුව නිසා ඝානසම්ඵස්සය ඇතිවේ. ජිව්හාධාතුව නිසා ජිව්හා සම්ඵස්සය ඇතිවේ. කායධාතුව නිසා කායසම්ඵස්සය ඇතිවේ. මනොධාතුව නිසා මනොසම්ඵස්සය ඇතිවේ. මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇතිවේ.”
2. 1. 3.
නෝසම්ඵස්ස සූත්රය
227. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවෙයි.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය කවරේද? “චක්ඛුධාතුව, සොතධාතුව, ඝානධාතුව, ජිව්හාධාතුව, කායධාතුව සහ මනොධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේද? ස්පර්ශයින්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇතිනොවේද? “මහණෙනි චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය ඇතිවේ. චක්ඛු සම්ඵස්සය නිසා චක්ඛුධාතුව ඇති නොවේ. “මහණෙනි, සෝතධාතුව නිසා සෝතසම්ඵස්සය ඇතිවේ. සෝත සම්ඵස්සය නිසා සෝත ධාතුව ඇති නොවේ. මහණෙනි, ඝාන ධාතුව නිසා ඝාන සම්ඵස්සය ඇතිවේ. ඝාන සම්ඵස්සය නිසා ඝාන ධාතුව ඇති නොවේ. මහණෙනි, ජිව්හා ධාතුව නිසා ජිව්හාසම්ඵස්සය ඇතිවේ. ජිව්හාසම්ඵස්සය නිසා ජිව්හා ධාතුව ඇති නොවේ. මහණෙනි, කාය ධාතුව නිසා කාය සම්ඵස්සය ඇතිවේ. කාය සම්ඵස්සය නිසා කාය ධාතුව ඇති නොවේ. මහණෙනි, මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය ඇතිවේ. මනෝ සම්ඵස්සය නිසා මනෝධාතුව ඇති නොවේ. “මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.”
2. 1. 4.
වේදනා සූත්රය
228. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනා වන්ගේ නානත්වය ඇතිවේ.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය කවරේද?” චක්ඛු ධාතුව, සෝත ධාතුව, ඝාන ධාතුව, ජිව්හා ධාතුව කාය ධාතුව සහ මනෝ ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේද? ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේද? “මහණෙනි, චක්ඛු ධාතුව නිසා චක්ඛු සම්ඵස්සය ඇතිවේ. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් උපදින වේදනා තොමෝ ඇති වන්නීය. “මහණෙනි, සෝත ධාතුව නිසා සෝතසම්ඵස්සය ඇතිවේ. සෝතසම්ඵස්සය නිසා සෝතසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය. “මහණෙනි ඝාන ධාතුව නිසා ඝානසම්ඵස්සය ඇතිවේ. ඝානසම්ඵස්සය නිසා ඝානසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය. “මහණෙනි, ජිව්හා ධාතුව නිසා ජිව්හා සම්ඵස්සය ඇතිවේ. ජිව්හා සම්ඵස්සය නිසා ජිව්හා සම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය. “මහණෙනි, කාය ධාතුව නිසා කාය සම්ඵස්සය ඇතිවේ. කාය සම්ඵස්සය නිසා කාය සම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය. “මහණෙනි, මනෝ ධාතුව නිසා මනෝ සම්ඵස්සය ඇතිවේ. මනෝ සම්ඵස්සය නිසා මනෝ සම්ඵස්සයෙන් උපදින වේදනාව ඇති වන්නීය. “මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේ.”
2. 1. 5.
නෝවේදනා සූත්රය
229. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවෙයි. වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇති නොවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද?” චක්ඛුධාතුව, සෝතධාතුව, ඝානධාතුව, ජිව්හාධාතුව, කායධාතුව සහ මනෝධාතුවයි. මහණෙනි, මෙය ධාතු නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේද? ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේද? වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇති නොවේද? ස්පර්ශයින්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේද? මහණෙනි, චක්ඛු ධාතුව නිසා චක්ඛුසම්ඵපස්සය ඇතිවේ. චක්ඛු සම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් උපදින වේදනා තොමෝ ඇති වන්නීය. චක්ඛුසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා චක්ඛුසම්ඵස්සය ඇති නොවෙයි. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතු තොමෝ ඇති නොවන්නීය. “මහණෙනි, සෝතධාතුව නිසා සෝත සම්ඵස්සය ඇතිවේ. සෝතසම්ඵස්සය නිසා සෝතසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. සෝතසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා සෝතසම්ඵස්සය ඇති නොවේ. සෝත සම්ඵස්සය නිසා සෝතධාතුව ඇති නොවන්නීය. “මහණෙනි, ඝානධාතුව නිසා ඝාන සම්ඵස්සය ඇතිවේ. ඝානසම්ඵස්සය නිසා ඝානසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. ඝානසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා ඝානසම්ඵස්සය ඇති නොවේ. ඝානසම්ඵස්සය නිසා ඝානධාතුව ඇති නොවන්නීය. “මහණෙනි, ජිව්හාධාතුව නිසා ජිව්හාසම්ඵස්සය ඇතිවේ. ජිව්හා සම්ඵස්සය නිසා ජිව්හාසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. ජිව්හාසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා ජිව්හාසම්ඵස්සය ඇති නොවෙයි. ජිව්හාසම්ඵස්සය නිසා ජිව්හා ධාතුව ඇති නොවන්නීය. “මහණෙනි, කායධාතුව නිසා කායසම්ඵස්සය ඇතිවේ. කාය සම්ඵස්සය නිසා කායසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. කායසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා කායසම්ඵස්සය ඇති නොවේ. කායසම්ඵස්සය නිසා කායධාතුව ඇති නොවන්නීය. “මහණෙනි, මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය ඇතිවේ. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. මනෝසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා මනෝසම්ඵස්සය ඇති නොවෙයි. මනෝසම්ඵස්සය නිසා මනෝධාතු තොමෝ ඇති නොවන්නීය.
“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයන්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේ. වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇති නොවේ. ස්පර්ශයන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.”