2. 1. 5.
නෝවේදනා සූත්‍රය
229. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවෙයි. වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇති නොවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද?” චක්ඛුධාතුව, සෝතධාතුව, ඝානධාතුව, ජිව්හාධාතුව, කායධාතුව සහ මනෝධාතුවයි. මහණෙනි, මෙය ධාතු නානත්වයයි කියනු ලැබේ.
මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇති වේ ද? ස්පර්ශයන්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇති වේ ද? වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇති නොවේ ද? ස්පර්ශයන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ ද? මහණෙනි, චක්ඛුධාතුව නිසා චක්ඛුසම්ඵස්සය ඇති වේ. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව ඇති වේ. චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා චක්ඛුසම්ඵස්සය ඇති නොවේ. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතුව ඇති නොවේ. -පෙ- මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය ඇති වේ. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව ඇති වේ. මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිසා මනෝසම්ඵස්සය ඇති නොවේ. මනෝසම්ඵස්සය නිසා මනෝධාතුව ඇති නොවේ.
“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයන්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේ. වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇති නොවේ. ස්පර්ශයන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.”
2. 1. 6.
ධාතු සූත්‍රය
230. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, තොපට ධාතූන්ගේ නානත්වය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක. “එසේය. ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. “මහණෙනි, ධාතූන්ගේ නානත්වය කවරේද? රූප ධාතුව, සද්දධාතුව, ගන්ධ ධාතුව, රසධාතුව, ඵොට්ඨබ්බධාතුව සහ ධම්මධාතුවයි. මහණෙනි, මෙය වනාහි ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.”
2. 1. 7.
සඤ්ඤා සූත්‍රය
231. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතුන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ (තෘෂ්ණාවන්ගේ) නානත්වය ඇතිවේ. ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ (ආශාවෙන් දැවෙන ස්වභාවයන්ගේ) නානත්වය ඇතිවේ. පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ (සෙවීම්වල) නානත්වය ඇතිවේ.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය කවරේද?” රූප ධාතුව, ශබ්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, ස්පර්ශ ධාතුව සහ ධම්ම ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයිද? සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවෙයිද? සංකල්පනා වන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ (ආශාවන්ගේ) නානත්වය ඇතිවෙයිද? ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ නානත්වය ඇතිවේද? පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ නානත්වය ඇතිවේද?
මහණෙනි, රූපධාතුව නිසා රූපසංඥාව (චක්ඛුවිඤ්ඤාණය සමග යෙදුණු සංඥාව) උපදියි. රූපසංඥාව නිසා රූපසංකල්පනාව (සම්පටිච්ඡනාදී සිත් තුන සමග යෙදුණු සංකල්පය) උපදියි. රූපසංකල්පනාව නිසා රූපච්ඡන්දය (රූපයෙහි කැමැත්ත) උපදියි. රූපච්ඡන්දය නිසා රූපපරිදාහය (රූපය නිසා ඇතිවන දැවීම) උපදියි. රූපපරිදාහය නිසා රූපපරියේසනය (ඒ රූපය ලැබීම පිණිස සෙවීම) උපදියි. මහණෙනි, ශබ්දධාතුව නිසා -පෙ- ධර්මධාතුව නිසා ධර්‍මසංඥාව උපදියි. ධර්‍මසංඥාව නිසා ධර්මසංකල්පනාව උපදියි. ධර්මසංකල්පනාව නිසා ධර්මච්ඡන්දය උපදියි. ධර්මච්ඡන්දය නිසා ධර්‍මපරිදාහය උපදියි. ධර්‍මපරිදාහය නිසා ධර්මපරියේසනය උපදියි.
“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේ. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ඡන්දයන්ගේ නානත්වය ඇතිවේ. ඡන්දයන්ගේ නානත්වය නිසා පරිදාහයන්ගේ නානත්වය ඇතිවේ. පරිදාහයන්ගේ නානත්වය නිසා පරියේසනයන්ගේ නානත්වය ඇතිවේ.