1. 7. 9.
උපයන්ති සූත්‍රය
69. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මහමුහුද (වඩදිය ගලන්නේ) මහා ගංගාවන් පුරවයි. මහා ගංගාවෝ පිරීයන්නාහු කුඩා ගංගාවන් පුරවත්. කුඩා ගංගාවෝ පිරීයන්නාහු මහ පතස් පුරවත්. මහ පතස් පිරීයන්නාහු කුඩා වළවල් පුරවත්. මහණෙනි, එසේම වනාහි අවිජ්ජා තොමෝ වැඩෙන්නී සංස්කාරයන් වඩන්නීය. සංස්කාරයෝ වැඩෙන්නාහු විඤ්ඤාණය වඩත්. විඤ්ඤාණය වැඩෙන්නේ නාමරූපය වඩයි. නාමරූපය වැඩෙන්නේ සළායතන වඩයි. සළායතන වැඩෙන්නේ ස්පර්ශය වඩයි. ස්පර්ශය වැඩෙන්නේ වේදනාව වඩයි. වේදනාව වැඩෙන්නී තණ්හාව වඩන්නීය. තණ්හාව වැඩෙන්නී උපාදානය වඩන්නීය. උපාදානය වැඩෙන්නේ භවය වඩයි. භවය වැඩෙන්නේ ජාතිය වඩයි. ජාතිය වැඩෙන්නේ ජරාමරණය වඩයි.
“මහණෙනි, මහ මුහුද (වඩදිය බැසයන්නේ) මහා ගංගාවන් නොපුරවයි. මහා ගංගාවෝ නොපිරුණාහු කුඩා ගංගාවන් නොපුරවත්. කුඩා ගංගාවෝ නොපිරෙන්නාහු මහ පතස් නොපුරවත්. මහ පතස් නොපිරෙන්නේ කුඩා වළවල් නොපුරවත්. මහණෙනි, එසේම වනාහි අවිජ්ජාව නොවැඩෙන්නී සංස්කාරයන් නොවඩන්නීය. සංස්කාරයෝ නොවැඩෙන්නාහු විඤ්ඤාණය නොවඩත්. විඤ්ඤාණය නොවැඩෙන්නේ නාමරූපය නොවඩයි. නාමරූපය නොවැඩෙන්නේ සළායතන නොවඩයි. සළායතන නොවැඩෙන්නේ ස්පර්ශය නොවඩයි. ස්පර්ශය නොවැඩෙන්නේ වේදනාව නොවඩයි. වේදනාව නොවැඩෙන්නී තණ්හාව නොවඩන්නීය. තණ්හාව නොවැඩෙන්නී උපාදානය නොවඩන්නීය. උපාදානය නොවැඩෙන්නේ භවය නොවඩන්නීය. භවය නොවැඩෙන්නේ ජාතිය නොවඩයි. ජාතිය නොවැඩෙන්නී ජරා මරණය නොවඩයි.
1. 7. 10.
10. සුසීම සූත්‍රය
70. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි, “කලන්දක නිවාප”යෙහිවූ වේළුවනයෙහි (හුණ වනයෙහි) වාසය කරනසේක. “එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ වඳින ලද්දේ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර බොහෝ කොට ලබන්නේ වෙයි. භික්ෂු සංඝ තෙමේද (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, වඳින ලද්දේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර බොහෝ කොට ලබන්නේ වෙයි. අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ වනාහි (මිනිසුන් විසින්) සත්කාර නොකරන ලද්දාහු. ගරුකාර නොකරන ලද්දාහු බුහුමන් නොකරන ලද්දාහු, නොපුදන ලද්දාහු, නොවදින ලද්දාහු, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර නොලබන්නෝ වෙත්.
“එකල්හි වනාහි සුසීම නම් පරිබ්‍රාජක තෙම මහත්වූ පරිබ්‍රාජක පිරිස සමග රජගහනුවර වාසය කෙරෙයි. ඉක්බිති සුසීම පරිබ්‍රාජකයාගේ පිරිස සුසීම පරිබ්‍රාජකයාට මෙය කීවාහුය. “ඇවැත් සුසීමය යනු මැනවි. ඔබ ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරෙනු මැනවි. ඔබ ධර්මය උගෙන අපට කියවනු මැනවි. ඒ ධර්මය අපි උගෙන, ගිහියන්ට කියන්නෙමු. මෙසේ අපිද, (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දෝ, ගරුකාර කරන ලද්දෝ, බුහුමන් කරන ලද්දෝ, පුදන ලද්දෝ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලබන ලද්දෝ වෙමුයි” කියායි. “ඇවැත්නි, හොඳයයි” කියා සුසීම පරිබ්‍රාජකතෙම සිය පිරිසට උත්තරදී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත්, කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සුසීම පරිබ්‍රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය. “ඇවැත් ආනන්දය, මම මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරීමට කැමැත්තෙමියි” කියායි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම සුසීම නම් පරිබ්‍රාජකයා රැගෙන භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ සුසීම පරිබ්‍රාජකතෙම මෙසේ කීයේය. “ඇවැත් ආනන්දය, මම මේ ශාසනයෙහි බ්‍රහ්මචරියාවෙහි හැසිරීමට කැමැත්තෙමි” කියායි. “ආනන්දය, එසේවීනම් සුසීම පැවිදි කරව්යයි” (වදාළ සේක.) සුසීම පරිබ්‍රාජකතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය.
“එකල්හි වනාහි බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි රහත් ඵලය ප්‍රකාශ කරන ලදී. (කෙසේද?) ‘ජාතිය (ඉපදීම) ක්ෂය වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දනිමු’ කියායි. ඇවැත් සුසීම තෙම වනාහි බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ‘ජාතිය (ඉපදීම) ක්ෂය වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දනිමු’යි අර්හත්ඵලය ප්‍රකාශකරන ලදැයි ඇසීය.