1. 7. 10.
10. සුසීම සූත්රය
70. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි, “කලන්දක නිවාප”යෙහිවූ වේළුවනයෙහි (හුණ වනයෙහි) වාසය කරනසේක. “එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ වඳින ලද්දේ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර බොහෝ කොට ලබන්නේ වෙයි. භික්ෂු සංඝ තෙමේද (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, වඳින ලද්දේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර බොහෝ කොට ලබන්නේ වෙයි. අන්යතීර්ථක පරිබ්රාජකයෝ වනාහි (මිනිසුන් විසින්) සත්කාර නොකරන ලද්දාහු. ගරුකාර නොකරන ලද්දාහු බුහුමන් නොකරන ලද්දාහු, නොපුදන ලද්දාහු, නොවදින ලද්දාහු, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර නොලබන්නෝ වෙත්.
“එකල්හි වනාහි සුසීම නම් පරිබ්රාජක තෙම මහත්වූ පරිබ්රාජක පිරිස සමග රජගහනුවර වාසය කෙරෙයි. ඉක්බිති සුසීම පරිබ්රාජකයාගේ පිරිස සුසීම පරිබ්රාජකයාට මෙය කීවාහුය. “ඇවැත් සුසීමය යනු මැනවි. ඔබ ශ්රමණ ගෞතමයන් සමීපයෙහි බ්රහ්මචරියාවෙහි හැසිරෙනු මැනවි. ඔබ ධර්මය උගෙන අපට කියවනු මැනවි. ඒ ධර්මය අපි උගෙන, ගිහියන්ට කියන්නෙමු. මෙසේ අපිද, (මිනිසුන් විසින්) සත්කාර කරන ලද්දෝ, ගරුකාර කරන ලද්දෝ, බුහුමන් කරන ලද්දෝ, පුදන ලද්දෝ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලබන ලද්දෝ වෙමුයි” කියායි. “ඇවැත්නි, හොඳයයි” කියා සුසීම පරිබ්රාජකතෙම සිය පිරිසට උත්තරදී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත්, කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සුසීම පරිබ්රාජක තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීයේය. “ඇවැත් ආනන්දය, මම මේ ශාසනයෙහි බ්රහ්මචරියාවෙහි හැසිරීමට කැමැත්තෙමියි” කියායි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම සුසීම නම් පරිබ්රාජකයා රැගෙන භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම වනාහි භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ සුසීම පරිබ්රාජකතෙම මෙසේ කීයේය. “ඇවැත් ආනන්දය, මම මේ ශාසනයෙහි බ්රහ්මචරියාවෙහි හැසිරීමට කැමැත්තෙමි” කියායි. “ආනන්දය, එසේවීනම් සුසීම පැවිදි කරව්යයි” (වදාළ සේක.) සුසීම පරිබ්රාජකතෙම වනාහි භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබීය. උපසම්පදාව ලැබීය.
“එකල්හි වනාහි බොහෝ භික්ෂූන් විසින් භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි රහත් ඵලය ප්රකාශ කරන ලදී. (කෙසේද?) ‘ජාතිය (ඉපදීම) ක්ෂය වූයේය. බ්රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දනිමු’ කියායි. ඇවැත් සුසීම තෙම වනාහි බොහෝ භික්ෂූන් විසින් භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි ‘ජාතිය (ඉපදීම) ක්ෂය වූයේය. බ්රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දනිමු’යි අර්හත්ඵලය ප්රකාශකරන ලදැයි ඇසීය.
ඉක්බිති සුසීම තෙම ඒ භික්ෂූන් යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ භික්ෂූන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිකටයුතුවූත් කථාවකොට නිමවා, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ඇවැත් සුසීම තෙම වනාහි ඒ භික්ෂූන්ට මෙය කීයේය. “ආයුෂ්මතුන් විසින් භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි, ‘ජාතිය (ඉපදීම) ක්ෂයවූයේය. බ්රහ්මචරියාවෙහි හැසිර නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැති බව දනිමුයි’ කියා රහත්ඵලය ප්රකාශ කරන ලද්දේය යනු සැබෑද?” “ඇවැත, එසේය.
ආයුෂ්මත්නි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔබලා නානාප්රකාරවූ ඍද්ධිවිධි විශේෂයෙන් විඳින්නහුද? (කෙසේද?) එක් කෙනෙක්වී බොහෝ දෙනෙක් වන්නහුද? බොහෝ දෙනෙක්වී, එක්කෙනෙක් වන්නහුද? ප්රකට බවටත් අප්රකට බවටත් පැමිණෙන්නහුද? බිත්ති සරසද, ප්රාකාර සරසද, අහසේ යම්සේද, එසේ නොගැටෙමින් ගමන්කරහුද? දියෙහි මෙන් පොළොවෙහිද, කිමිදීම් මතුවීම් කරන්නහුද? පොළොවෙහි මෙන් දියෙහිද නොකිමිඳෙමින් යන්නහුද? පක්ෂියෙකු මෙන් අහසෙහි අරමිණිය ගොතාගෙන (හිඳගෙන) යන්නහුද? මෙසේ මහත් ඍද්ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති, මේ සඳ හිරු දෙදෙන අතින් අල්ලන්නහුද? අතගාන්නහුද? බ්රහ්මලෝකය දක්වා කයින් තමන් වසඟ කරන්නහුද?” “ඇවැත, මෙය නොවේමය”
“ඇවැත්නි තවද මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ ඔබලා මිනිස් කණ ඉක්ම සිටින්නාවූ, පිරිසිදුවූ, දිවකණින් දෙවියන් පිළිබඳවූද, මිනිසුන් පිළිබඳවූද, දුරවූද, සමීපයෙහි වූද, දෙයාකාරවූ ශබ්දයන් අසන්නහුද?” “ඇවත, මෙය නොවේමය”
“ඇවැත්නි, මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔබලා වනාහි අන්ය සත්වයින්ගේද, අන්ය පුද්ගලයින්ගේද සිත තමාගේ සිතින් පිරිසිඳ දන්නහුද? (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දන්නහුද? රාග රහිත සිත රාග රහිත සිතයයි දන්නහුද? ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දන්නහුද? ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දන්නහුද? මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දන්නහුද? මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දන්නහුද? හැකුළුනු සිත හැකුළුනු සිතයයි දන්නහුද? විසුරුණු සිත විසුරුණු සිතයයි දන්නහුද? මහත් බවට පැමිණි සිත මහත් බවට පැමිණි සිතයයි දන්නහුද? මහත් බවට නොපැමිණි සිත මහත් බවට නොපැමිණි සිතයයි දන්නහුද? උසස් බවට පැමිණි සිත උසස් බවට පැමිණි සිතයයි දන්නහුද? උසස් බවට නොපැමිණි සිත උසස් බවට නොපැමිණි සිතයයි දන්නහුද? සංසිඳුනු සිත සංසිඳුනු සිතයයි දන්නහුද? නොසංසිඳුනු සිත නොසංසිඳුනු සිතයයි දන්නහුද? මිදුනු සිත මිදුනු සිතයයි දන්නහුද? නොමිදුනු සිත නොමිදුනු සිතයයි දන්නහුද?” “ඇවත, මෙය නොවේමය”.