1. 3. 3.
උපනිසා සූත්‍රය
23. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මම දන්නහුගේම දක්නහුගේම ආශ්‍රවයන් ක්ෂයකිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ ආශ්‍රවයන් ක්ෂය කිරීම නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් ක්ෂයවේද? රූපය මෙසේය. රූපයේ ඇතිවීම මෙසේය. රූපයාගේ නැතිවීම මෙසේය. වේදනාව මෙසේය. වේදනාවේ ඇතිවීම මෙසේය. වේදනාවේ නැතිවීම මෙසේය. සංඥාව මෙසේය. සංඥාවේ ඇතිවීම මෙසේය. සංඥාවේ නැතිවීම මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණයේ ඇතිවීම මෙසේය. විඤ්ඤාණයේ නැතිවීම මෙසේය. කියායි. මහණෙනි, මෙසේ වනාහි දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීම වෙයි.
“මහණෙනි, යම් හේතුවකින් ඒ ආශ්‍රව ක්ෂය නම් අර්හත් ඵලය ලත් කල්හි ඒ පිළිබඳ ප්‍රත්‍යවෙක්ෂා (මෙනෙහි කරන) ඥානය ඇතිවන්නේය. එයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, ප්‍රත්‍යවෙක්ෂා ඥානයට හේතු කවරේද? අර්හත් ඵලයයි කියයුතු වන්නේය. මහණෙනි, මම අර්හත්ඵලයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, අර්හත් ඵල හේතු කවරේද? රහත් මාර්ගයයි කියයුතු වන්නේය. මහණෙනි, මම අර්හත් මාර්ගයද හේතු සහිතයි කියමි. හේතු රහිතයි නොකියමි. “මහණෙනි, අර්හත් මාර්ගයට හේතු කවරේද? කලකිරීමේ නුවණයයි කියයුතු වන්නේය. මහණෙනි, මම කලකිරීමේ නුවණද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි; මහණෙනි, කලකිරීමේ ඤාණයට හේතු කවරේද? තත්වූ පරිදි නුවණින් දැකීමයයි කියයුතු වන්නේය.
මහණෙනි, මම තත්වූ පරිදි නුවණින් දැකීමද හේතු සහිත යයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, තත්වූ පරිදි නුවණින් දැකීමට හේතු කවරේද? සමාධියයි කිය යුතු වන්නේය. මහණෙනි, මම සමාධියද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, සමාධියට හේතු කවරේද? සැපයයි කියයුතු වන්නේය. මහණෙනි, මම සැපයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, සැපයට හේතු කවරේද? පීඩාවන්ගේ සංසිඳීම යයි කියයුතු වන්නේය. මහණෙනි, මම පීඩාවන්ගේ සංසිඳීමද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නො කියමි. මහණෙනි, පීඩාවන්ගේ සංසිඳීමට කරුණු කවරේද? අධික ප්‍රීතියයි කියයුතු වන්නේය. මහණෙනි, මම අධික ප්‍රීතියද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, අධික ප්‍රීතියට හේතු කවරේද? දුර්වල ප්‍රීතියයි කියයුතු වන්නේය. මහණෙනි, මම දුර්වල ප්‍රීතියද හේතු සහිත යයි කියමි. හේතු රහිතයයි නොකියමි.
මහණෙනි, දුර්වල ප්‍රීතියට හේතු කවරේද? ශ්‍රද්ධාවයයි කිය යුතු වන්නේය. මහණෙනි, මම ශ්‍රද්ධාවද හේතු සහිතයයි කියමි. හේතු රහිත යයි නොකියමි. මහණෙනි, ශ්‍රද්ධාවට හේතු කවරේද? දුකයි කිය යුතු වන්නේය. මහණෙනි, මම දුකද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, දුකට හේතු කවරේද? ඉපදීමයයි කියයුතු වන්නේය. මහණෙනි, මම ඉපදීමද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, ඉපදීමට හේතු කවරේද? (කර්ම) භවයයි කිය යුතු වන්නේය. මහණෙනි, මම කර්ම භවයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, කර්ම භවයට හේතු කවරේද? උපාදානයයි කිය යුතු වන්නේය. මහණෙනි, මම උපාදානයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, උපාදානයට හේතු කවරේද? තණ්හාව යයි කියයුතු වන්නේය. මහණෙනි, මම තණ්හාවද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි, තණ්හාවට හේතු කවරේද? වේදනාවයයි කිය යුතු වන්නේය. මහණෙනි, මම වේදනාවද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි. මහණෙනි වේදනාවට හේතු කවරේද? ස්පර්ශයයි කියයුතු වන්නේය. මහණෙනි, මම ස්පර්ශයද හේතු සහිතයයි කියමි. හේතු රහිතයයි නොකියමි.