1. 3. 4.
අඤ්ඤතිත්ථිය සූත්රය
24. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ “වේළුවනාරාමයෙහි” වැඩ වාසය කරන සේක.
ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්රයන් වහන්සේ පෙරවරු කාලයෙහි ඇඳ පාත්ර සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩිසේක. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේට මේ සිත ඇති විය. ‘රජගහනුවර පිඬු පිණිස යාමට තවම උදෑසන වැඩිය. ඒ නිසා මම අන්ය තීර්ථක පරිබ්රාජකයින්ගේ ආරාමය යම් තැනකද එතන්හි පැමිණෙම් නම් හොඳය’ කියායි. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන් සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූත්, සිහි කටයුතුවූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන්ට ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය කීවාහුය.
“ඇවැත්නි, ශාරිපුත්රය, දුක තමා විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්රය, දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්රය, දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්රය, දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේයයි පණවන, කර්මවාද ඇති සමහර මහණ බමුණෝ වෙති. ඇවැත්, ශාරිපුත්රය, මේ සතරවාදයන්හිදී, ගෞතම මහණතෙම කිනම් වාද ඇත්තේද? කුමක් කියන්නේද? කෙසේ විසඳනු ලබන්නාවූ අපි ශ්රමණ ගෞතමයන් කියන ලද්ද කිව්වෝ වෙමුද, ශ්රමණ ගෞතමයන් බොරුවෙන් යටකොට නොකියමුද, ධර්මයට අනුව කියමුද, කිනම් ධාර්මිකවූ වාදයක් (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණේද?” කියායි.
“ඇවැත්නි, ‘දුක වනාහි හේතූන් නිසා ඇතිවූයේයයි’ භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. කුමක් නිසා ඇතිවීද? ස්පර්ශය නිසා ඇතිවිය. මෙසේ මෙය කියන්නේ භාග්යවතුන් වහන්සේ කියන ලද්ද කියන්නේද වන්නේය. භාග්යවතුන් වහන්සේ බොරුවෙන් යටකොට නොකියන්නේය. කිසියම් ධාර්මිකවූ, වාදයක් ධර්මය අනුව කියන්නේය (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය.
“ඇවැත්නි, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරණ ලද්දේයයි පණවත්ද? එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද එයද ස්පර්ශය නිසා ඇති වේ. කර්මවාදී වූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද එයද ස්පර්ශය නිසා ඇතිවේ.
“ඇවැත්නි, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේ යයි පණවත්ද ඔවුහුද ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද, අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහුද වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසිනුත් නොව අනුන් විසිනුත් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ.”
ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන්ගේ ඒ අන්යතීර්ථක පරිබ්රාජකයන් හා සමඟවූ මේ කථා සල්ලාපය ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම ඇසුවේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම රජගහනුවර පිඬු පිණිස වැඩ සවස පිණ්ඩපාතයෙන් වැළකුණේ භාග්යවතුන් වන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම වනාහි යම්තාක් ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන්ගේ අන්යතීර්ථක පරිබ්රාජකයන් හා සමග කථා සල්ලාපයක් වූයේද ඒ සියල්ල භාග්යවතුන් වහන්සේට සැල කළේය.
“සාදු! සාදු!! ආනන්දය, එය යම්සේ මනාකොට ප්රකාශ කරන්නේ නම් ඒ ආකාරයෙන් ශාරීපුත්ර තෙම ප්රකාශ කරන්නේය. ආනන්දය, දුක වනාහි හේතූන් නිසා උපන්නේ යයි මා විසින් කියන ලදී. කුමක් නිසාද? ස්පර්ශය නිසා යයි මෙසේ මෙය කියන්නේ මා කියන ලද්ද කියන්නේද වන්නේය. මා බොරුවෙන් යටකොට නොකියන්නේය. ධර්මය අනුව කියන්නේය. කිසියම් ධාර්මිකවූ වාදයක් (නුවණ ඇතියන් විසින්) ගැරහිය යුතු බවට නොපැමිණෙන්නේය.
ආනන්දය, එහිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයයි පණවත්ද, එයත් ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේ යයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව, ඉබේ ඇතිවූයේයි පණවත්ද, එයද ස්පර්ශය නිසා ඇතිවේ.
ආනන්දය, ඒ සතරවාදයන්හිදී, කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින් කරන ලද්දේයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක අනුන් විසින් කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක තමා විසින්ද අනුන් විසින්ද කරන ලද්දේයයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ. කර්මවාදීවූ, යම් ඒ මහණ බමුණෝ දුක මා විසින් හෝ අනුන් විසින් හෝ කරන ලද්දක් නොව ඉබේ ඇතිවූයේ යයි පණවත්ද, ඔවුහු වනාහි ස්පර්ශය නැතිව දුක් විඳිති යන මේ කරුණ විද්යමාන නොවේ.
“ආනන්දය, මම එක් කාලයක මේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දක නිවාප” නම් ලත් වෙළුවනාරාමයෙහි වාසය කරමි. ආනන්දය, ඉක්බිති මම වනාහි පෙරවරු කාලයෙහි හැඳ පාත්ර සිවුරු ගෙන, රජගහනුවරට පිඬු සිඟා ගියෙමි. ආනන්දය, ඒ මට මේ අදහස ඇතිවිය. ‘තවම රජගහනුවරට පිඬු පිණිස යාමට උදෑසන වැඩිය. (ඒනිසා) මම අන්ය තීර්ථක පරිබ්රාජකයින්ගේ ආරාමය යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙම් නම් හොඳය’ කියායි. ආනන්දය, ඉක්බිති මම අන්යතීර්ථක පරිබ්රාජකයින්ගේ ආරාමය යම් තැනෙක්හිද එතැනට පැමිණියෙමි. පැමිණ, ඒ අන්යතීර්ථක පරිබ්රාජකයන් සමග සතුටු වූයෙමි. සතුටු විය යුතුවූත්, සිහි කටයුතුවූත්, කථාව කොට අවසානකර, එක්පැත්තක හුන්නෙමි. ආනන්දය, එක් පැත්තක හුන්නාවූ මට වනාහි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයෝ මෙය කීවාහුය.