1. 2. 9.
බාලපණ්ඩිත සූත්‍රය
19. සැවැත්නුවරදී–
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ... භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, බාලයාගේ මේ කය මෙසේ සමුදාගත විය. මෙසේ මේ කයද, බාහිරවූ නාමරූපදැයි මෙසේ මෙය දෙකකි. ඒ දෙක නිසා ස්පර්ශය ඇතිවේ. යම් සළායතනයන්ගෙන් ස්පර්ශ කරන ලද්දාවූ බාලතෙම සැප දුක් විඳීද, ඒ මේ සයක්වූ ආයතනයෝය (නොහොත් ඉන් එක්තරා ආයතනයකි).”
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, පණ්ඩිතයාගේ මේ කය මෙසේ සමුදාගත විය. මෙසේ මේ කයද, බාහිරවූ නාමරූපදැයි මෙසේ මෙය දෙකකි. ඒ දෙක නිසා ස්පර්ශය ඇතිවේ. යම් සළායතනයන්ගෙන් ස්පර්ශ කරන ලද්දාවූ පණ්ඩිතතෙම සැප දුක් විඳීද, ඒ මේ සයක්වූ ආයතනයෝය (නොහොත් ඉන් එක්තරා ආයතනයකි).”
“මහණෙනි, එහිලා බාලයාට වඩා පණ්ඩිතයාගේ ඇති විශේෂය කවරේද? අධික විශේෂය කවරේද? වෙනස්වූ කාරණය කුමක්ද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය, භාග්‍යවතුන් වහන්සේ නෙත් කොට ඇත්තාහුය, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් ඉතා හොඳය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය.” “මහණෙනි, එසේ වී නම් අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළ සේක. “එහෙමයි ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ බාලයාගේ මේ කය ඇතිවූයේ වේද, බාලයාගේ ඒ අවිජ්ජා තොමෝ ප්‍රහීණ නොවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය නොවූවාය. එයට හේතු කවරේද? මහණෙනි, බාලතෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි නොහැසුරුනේය. එහෙයින් බාලතෙම කය බිඳීමෙන් කායූපග (කයකට පැමිණෙන්නේ) වෙයි. හෙතෙම කායූපග වූයේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් නොමිදෙයි, දුකින් නොමිදේයයි කියමි.
“මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ පණ්ඩිතයාගේ මේ කය ඇතිවූයේ වේද, පණ්ඩිතයාගේ ඒ අවිජ්ජා තොමෝ ප්‍රහීණ වූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය වූවාය. එයට හේතු කවරේද? මහණෙනි, පණ්ඩිත තෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි හැසුරුණේය. එහෙයින් පණ්ඩිතතෙම කය බිඳීමෙන් කායූපග (කයකට පැමිණෙන්නේ) නො වෙයි. හෙතෙම අකායූපග වූයේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මිදෙයි. දුකින් මිදේයයි කියමි.
“මහණෙනි, බාලයාට වඩා පණ්ඩිතයාගේ යම් මේ විශේෂයක්, අධිප්පායක්, නානාකරණයක් වේද, යම් මේ බ්‍රහ්මචරියවාසයයි.”
1. 2. 10.
පච්චය (පච්චයුප්පන්න) සූත්‍රය
20. සැවැත්නුවරදී–
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. ... භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, මම තොපට පටිච්චසමුප්පාදයද, පටිච්චසමුප්පන්න ධර්මයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි”. ‘එසේය ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, ජාතිය (ඉපදීම) හේතුකොටගෙන ජරාමරණ වෙති. තථාගතවරයන් උපන් කල්හිද, තථාගත වරයන් නූපන් කල්හිද ඒ ධාතුව (ස්වභාවය) එසේම පවතී, එය ධම්මට්ඨිතතාවකි, ධම්මනියාමතාවකි, ඉදප්පච්චයතාවකි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි, වටහාගනියි. අවබෝධකොට වටහාගෙන, කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, මතුකොට දක්වයි. බලව්යයි ද කියයි: ‘මහණෙනි, ජාතිය පච්චයා ජරාමරණං’ (ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වේ). [මහණෙනි, යම් ඒ තථතාවක්, අවිතථතාවක්, අනඤ්ඤථතාවක්, ඉදප්පච්චයතාවක් වේද, මහණෙනි, මේ ‘පටිච්චසමුප්පාදය’ යැයි කියනු ලැබේ.]
“මහණෙනි, භවය පච්චයා ජාති -පෙ- උපාදාන පච්චයා භවො -පෙ- තණ්හා පච්චයා උපාදානං - වෙදනා පච්චයා තණ්හා - ඵස්ස පච්චයා වෙදනා - සළායතන පච්චයා ඵස්සො - නාමරූප පච්චයා සළායතනං - විඤ්ඤාණ පච්චයා නාමරූපං - සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං - අවිජ්ජා පච්චයා සංඛාරා. තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. ඒ ධාතුව (ස්වභාවය) එසේම පවතී, එය ධම්මට්ඨිතතාවකි, ධම්මනියාමතාවකි, ඉදප්පච්චයතාවකි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මතුකොට දක්වයි. බලව්යයි ද කියයි. ‘මහණෙනි, අවිජ්ජා පච්චයා සංඛාරා’ (අවිජ්ජාව නිසා සංස්කාරයෝ වෙති). මහණෙනි, යම් ඒ තථතාවක්, අවිතථතාවක්, අනඤ්ඤථතාවක්, ඉදප්පච්චයතාවක් වේද, මහණෙනි, මේ ‘පටිච්චසමුප්පාදය’ යැයි කියනු ලැබේ.”