1. 2. 10.
පච්චය (පච්චයුප්පන්න) සූත්රය
20. සැවැත්නුවරදී–
එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වැඩවෙසෙති. ... භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, මම තොපට පටිච්චසමුප්පාදයද, පටිච්චසමුප්පන්න ධර්මයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි”. ‘එසේය ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන්වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, පටිච්චසමුප්පාදය නම් කවරේද? මහණෙනි, ජාතිය (ඉපදීම) හේතුකොටගෙන ජරාමරණ වෙති. තථාගතවරයන් උපන් කල්හිද, තථාගත වරයන් නූපන් කල්හිද ඒ ධාතුව (ස්වභාවය) එසේම පවතී, එය ධම්මට්ඨිතතාවකි, ධම්මනියාමතාවකි, ඉදප්පච්චයතාවකි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි, වටහාගනියි. අවබෝධකොට වටහාගෙන, කියයි, දේශනා කෙරෙයි, පණවයි, පිහිටුවයි, විවරණ කෙරෙයි, බෙදයි, මතුකොට දක්වයි. බලව්යයි ද කියයි: ‘මහණෙනි, ජාතිය පච්චයා ජරාමරණං’ (ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වේ). [මහණෙනි, යම් ඒ තථතාවක්, අවිතථතාවක්, අනඤ්ඤථතාවක්, ඉදප්පච්චයතාවක් වේද, මහණෙනි, මේ ‘පටිච්චසමුප්පාදය’ යැයි කියනු ලැබේ.]
“මහණෙනි, භවය පච්චයා ජාති -පෙ- උපාදාන පච්චයා භවො -පෙ- තණ්හා පච්චයා උපාදානං - වෙදනා පච්චයා තණ්හා - ඵස්ස පච්චයා වෙදනා - සළායතන පච්චයා ඵස්සො - නාමරූප පච්චයා සළායතනං - විඤ්ඤාණ පච්චයා නාමරූපං - සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං - අවිජ්ජා පච්චයා සංඛාරා. තථාගතයන් වහන්සේ උපන් කල්හිද, නූපන් කල්හිද, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. ඒ ධාතුව (ස්වභාවය) එසේම පවතී, එය ධම්මට්ඨිතතාවකි, ධම්මනියාමතාවකි, ඉදප්පච්චයතාවකි. එය තථාගතතෙම අවබෝධ කෙරෙයි. වටහා ගනියි. අවබෝධ කොට, වටහාගෙන කියයි. දේශනා කෙරෙයි. පණවයි. පිහිටුවයි. විවරණ කෙරෙයි. බෙදයි. මතුකොට දක්වයි. බලව්යයි ද කියයි. ‘මහණෙනි, අවිජ්ජා පච්චයා සංඛාරා’ (අවිජ්ජාව නිසා සංස්කාරයෝ වෙති). මහණෙනි, යම් ඒ තථතාවක්, අවිතථතාවක්, අනඤ්ඤථතාවක්, ඉදප්පච්චයතාවක් වේද, මහණෙනි, මේ ‘පටිච්චසමුප්පාදය’ යැයි කියනු ලැබේ.”
“මහණෙනි, පටිච්චසමුප්පන්න ධර්මයෝ කවරහුද? මහණෙනි, ජරාව සහ මරණය අනිත්යය, සංස්කෘතය, පටිච්චසමුප්පන්නය (හේතුන් නිසා උපන්නේය), ක්ෂය වන ස්වභාව ඇත්තේය, වැය වන ස්වභාව ඇත්තේය, විරාග ස්වභාව ඇත්තේය, නිරෝධ ස්වභාව ඇත්තේය. මහණෙනි, ජාතිය අනිත්යය... භවය අනිත්යය... උපාදානය... තණ්හාව... වෙදනාව... ඵස්සය... සළායතන... නාමරූප... විඤ්ඤාණය... සංස්කාර... මහණෙනි, අවිජ්ජාව අනිත්යය, සංස්කෘතය, පටිච්චසමුප්පන්නය, ක්ෂයවෙන ස්වභාව ඇත්තේය, වැයවෙන ස්වභාව ඇත්තේය, විරාග ස්වභාව ඇත්තේය, නිරෝධ ස්වභාව ඇත්තේය. මහණෙනි, මොවුහු පටිච්චසමුප්පන්න ධර්මයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, යම් හෙයකින් වනාහී ආර්ය ශ්රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද, මේ පටිච්චසමුප්පන්න ධර්මයන්ද යථාභූතව (ඇතිසැටි) සම්මා ප්රඥාවෙන් (යහපත් නුවණින්) මනාකොට දක්නා ලද්දාහු වෙත්ද, එවිට ඒ ආර්ය ශ්රාවකතෙම පුබ්බන්තං (අතීත කාලය) වෙත දුවන්නේය: ‘මම අතීත කාලයෙහි වූයෙම්දෝ, අතීත කාලයෙහි නූවූයෙම්දෝ, කවරෙක් වූයෙම්දෝ, කෙසේ වූයෙම්දෝ, මම අතීත කාලයෙහි කවරෙක් වී පසුව කවරෙක් වූයෙම්දෝ’ කියා හෝ; අපරන්තං (අනාගත කාලය) වෙත දුවන්නේය: ‘මම අනාගත කාලයෙහි වෙම්දෝ, අනාගත කාලයෙහි නොවෙම්දෝ, කවරෙක් වෙම්දෝ, කෙසේ වෙම්දෝ, අනාගත කාලයෙහි කවරෙක්වී, පසුව කවරෙක් වෙම්දෝ’ කියා හෝ; එතරහි (මේ වර්තමාන කාලය) ගැන හෝ තමා තුළ කථංකථී (සැක ඇත්තෙක්) වන්නේය: ‘මම වෙම්දෝ, නොවෙම්දෝ, කවරෙක් වෙම්දෝ, කෙසේ වෙම්දෝ, මේ සත්වතෙම කොහෙන් ආයේද, හෙතෙම කොහි යන්නේදැ’යි හෝ; යන මෙයට කරුණු නැත. ඊට හේතුව කවරේද? මහණෙනි, ආර්යශ්රාවකයා විසින් මේ පටිච්චසමුප්පාදයද, මේ පටිච්චසමුප්පන්න ධර්මයෝද යථාභූතව සම්මා ප්රඥාවෙන් මනාකොට දක්නාලද හෙයිනි.”
දෙවෙනි ආහාර වර්ගයයි.
එහි උද්දානය:
ආහාර, ඵග්ගුණ, සමණ බ්රාහ්මණ සූත්ර දෙක, කච්චානගොත්ත, ධම්මකථික, අචේල, තිම්බරුක, බාලපණ්ඩිත සහ දසවෙනි ප්රත්යය සූත්රයයි.