1. 2. 8.
තිම්බරුක සූත්‍රය
18. සැවැත්නුවරදී–
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. ඉක්බිති ‘තිම්බරුක’ පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි වැඩ සිටිසේක්ද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවිය යුතු වූත්, සිහිකට යුතු වූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ තිම්බරුක පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය:
“භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් කරන ලද්දේද?” “තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් අනුන් විසින් කරන ලද්දේද?” “තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් කරන ලද්දේද?” “තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා සහ අනුන් විසින් නොකරන ලද්දේ, අධිච්චසමුප්පන්නව (ඉබේ) ඇතිවූයේද?” “තිම්බරුකය, එසේ නොකියව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්ද?” “තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේය.” “එසේ වීනම්, භවත් ගෞතම තෙම සැප දුක් නො දනියිද? නොදකියිද?” “තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමි. පස්සමි.”
“භවත් ගෞතමයිනි, කිමෙක්ද? ‘සැප දුක් තමා විසින් කරන ලද්දේ දැ’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. ‘භවත් ගෞතමයිනි, කිමෙක්ද? සැප දුක් අනුන් විසින් කරන ලද්දේ දැ’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. ‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේ දැ’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. ‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් නොකරන ලද්දේ, අනුන් විසින් නොකරන ලද්දේ අධිච්චසමුප්පන්නව (ඉබේ) ඇති වූයේ දැ’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, එසේ නොකියව’යි කියහි. ‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් නැද්දැ’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘තිම්බරුකය, සැප දුක් වනාහි නැත්තේ නොවේ. තිම්බරුකය, සැප දුක් වනාහි ඇත්තේය’යි කියහි. ‘එසේ නම් භවත් ගෞතම තෙමේ සැප දුක් නොදනියිද, නොදකියි දැ’යි අසන ලද්දේ ‘තිම්බරුකය, මම වනාහි සැප දුක් නොදන්නෙම් නොවෙමි. තිම්බරුකය, මම වනාහි සැප දුක් දනිමි, දකිමි’යි කියති. භවත් ගෞතයන් වහන්සේ මට සැප දුක් කියා දෙන සේක්වා. භවත් ගෞතමයන් වහන්සේ මට සැප දුක් දේශනා කරන සේක්වා.”
“ ‘සා වෙදනා සො වෙදියති’ (ඒ වේදනාවම ඔහු විඳීය) යි තිම්බරුකය, මුලදීම මෙසේ ගෙන ‘සැප දුක් තමා විසින් කරන ලද්දේය’යි මෙසේ මම නොකියමි. ‘අඤ්ඤා වෙදනා අඤ්ඤො වෙදියති’ (අන්‍යවූ වේදනා අනිකෙක් විඳීය) යි තිම්බරුකය, වේදනාවෙන් පෙළෙනු ලැබූවහට ‘සැප දුක් අනුන් විසින් කරන ලද්දේය’යි මම නොකියමි.
තිම්බරුකය, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක: “අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ -පෙ- මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ. අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවෙයි. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි -පෙ- මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවේ”යයි.
මෙසේ වදාළ කල්හි තිම්බරුක පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත -පෙ- ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමි කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකන සේක්වා.”
1. 2. 9.
බාලපණ්ඩිත සූත්‍රය
19. සැවැත්නුවරදී–
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ... භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, බාලයාගේ මේ කය මෙසේ සමුදාගත විය. මෙසේ මේ කයද, බාහිරවූ නාමරූපදැයි මෙසේ මෙය දෙකකි. ඒ දෙක නිසා ස්පර්ශය ඇතිවේ. යම් සළායතනයන්ගෙන් ස්පර්ශ කරන ලද්දාවූ බාලතෙම සැප දුක් විඳීද, ඒ මේ සයක්වූ ආයතනයෝය (නොහොත් ඉන් එක්තරා ආයතනයකි).”
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසීගියාවූ, තණ්හාවෙන් යුක්තවූ, පණ්ඩිතයාගේ මේ කය මෙසේ සමුදාගත විය. මෙසේ මේ කයද, බාහිරවූ නාමරූපදැයි මෙසේ මෙය දෙකකි. ඒ දෙක නිසා ස්පර්ශය ඇතිවේ. යම් සළායතනයන්ගෙන් ස්පර්ශ කරන ලද්දාවූ පණ්ඩිතතෙම සැප දුක් විඳීද, ඒ මේ සයක්වූ ආයතනයෝය (නොහොත් ඉන් එක්තරා ආයතනයකි).”
“මහණෙනි, එහිලා බාලයාට වඩා පණ්ඩිතයාගේ ඇති විශේෂය කවරේද? අධික විශේෂය කවරේද? වෙනස්වූ කාරණය කුමක්ද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය, භාග්‍යවතුන් වහන්සේ නෙත් කොට ඇත්තාහුය, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙතොත් ඉතා හොඳය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය.” “මහණෙනි, එසේ වී නම් අසව්. මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමියි” වදාළ සේක. “එහෙමයි ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ බාලයාගේ මේ කය ඇතිවූයේ වේද, බාලයාගේ ඒ අවිජ්ජා තොමෝ ප්‍රහීණ නොවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය නොවූවාය. එයට හේතු කවරේද? මහණෙනි, බාලතෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි නොහැසුරුනේය. එහෙයින් බාලතෙම කය බිඳීමෙන් කායූපග (කයකට පැමිණෙන්නේ) වෙයි. හෙතෙම කායූපග වූයේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් නොමිදෙයි, දුකින් නොමිදේයයි කියමි.