1. 2. 7.
අචේල කස්සප සූත්රය
17. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දකනිවාප” නම් ලත් වේළුවනාරාමයෙහි වැඩ වසනසේක. අථ ඛො භගවා (එකල්හි භාග්යවතුන් වහන්සේ) පෙරවරු කාලයෙහි හැඳ, පාත්ර සිවුරු ගෙන, රජගහ නුවරට පිඬුපිණිස වැඩිසේක. අචේල කාශ්යපතෙම වනාහි වඩින්නාවූ භාග්යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද, සිහිකටයුතුවූද, කථාව කොට නිමවා, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ, අචේල කාශ්යපතෙම වනාහි භාග්යවතුන් වහන්සේට මෙය කීයේය: “ඉදින් අපට ප්රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු”යි.
“කාශ්යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක. අචේල කාශ්යප තෙම වනාහි දෙවෙනුවත් භාග්යවතුන් වහන්සේට මෙය කීයේය: “ඉදින් අපට ප්රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” කියායි. “කාශ්යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒතාක් ප්රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක. අචේල කාශ්යපෙතම වනාහි තෙවෙනුවත් භාග්යවතුන් වහන්සේට මෙය කීයේය: “ඉදින් අපට ප්රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු” කියායි. “කාශ්යපය, ඇතුළුගමට පිවිසියෙමු. ඒ තාක් ප්රශ්නය ඇසීමට කාලය නොවේයයි” වදාළ සේක.
මෙසේ කීකල්හි අචේල කාශ්යපතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය: “අපි වනාහි භවත් ගෞතමයන්ගෙන් බොහෝ කොට අසනු කැමති නොවෙමු” කියායි.
“කාශ්යපය, යමක් ඇසීමට කැමැත්තෙහි නම් එය අසවයි” වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් කරන ලද්දේද?” “කාශ්යපය, එසේ නොකියවයි,” භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, අනුන් විසින් කරන ලද්දේද?” “කාශ්යපය, එසේ නොකියවයි,” භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේද?” “කාශ්යපය, එසේ නොකියවයි,” භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුක, තමා විසින් සහ අනුන් විසින් නොකරන ලද්දේ, අධිච්චසමුප්පන්නව (ඉබේ) ඇතිවූයේද?” “කාශ්යපය, එසේ නොකියවයි,” භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
“භවත් ගෞතමයිනි, කිමෙක්ද දුකක් නැද්ද?” “කාශ්යපය, දුක වනාහි නැත්තේ නොවේ. දුක වනාහි ඇත්තේය.”
“එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද? නොදකියිද?” “කාශ්යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි, නොදක්නෙම් නොවෙමි. කාශ්යපය, මම වනාහි දුක දනිමි. කාශ්යපය, මම වනාහි දුක දකිමියි” වදාළ සේක.
‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් කරන ලද්දේද?’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්යපය, එසේ නොකියවයි’ කියහි. ‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් අනුන් විසින් කරන ලද්දේද?’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්යපය, එසේ නොකියවයි’ කියහි. ‘භවත් ගෞතමයිනි, කිමෙක්ද, සැප දුක් තමා විසින් සහ අනුන් විසින් කරන ලද්දේද?’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්යපය, එසේ නොකියවයි’ කියහි. ‘භවත් ගෞතමයිනි කිමෙක්ද, සැප දුක් තමා විසින් නොකරන ලද්දේ, අනුන් විසින් නොකරන ලද්දේ, අධිච්චසමුප්පන්නව (ඉබේ) ඇතිවූයේ දැ?’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්යපය, එසේ නොකියවයි’ කියහි. ‘භවත් ගෞතමයිනි, කිමෙක්ද දුකක් නැද්දැ’යි මෙසේ අසන ලද්දේ වනාහි ‘කාශ්යපය, දුක වනාහි නැත්තේ නොවේ. ඇත්තේය’යි කියහි. ‘එසේ වී නම් භවත් ගෞතම තෙමේ දුක නොදනියිද නොදකියි දැ’යි අසන ලද්දේ වනාහි ‘කාශ්යපය, මම වනාහි දුක නොදන්නෙම් නොවෙමි, නොදක්නෙම් නොවෙමි. කාශ්යපය, මම වනාහි දුක දනිමි, මම වනාහි දුක දකිමියි’ කියහි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට දුක කියා දෙන සේක්වා. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා.”