1. 2. 4.
4. ශ්‍රමණ බ්‍රාහ්මණ සූත්‍රය
14. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, කිනම් ධර්මයන් නොදනිත්ද? කිනම් ධර්මයක්හුගේ ඇතිවීම නොදනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවීම නොදනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය නොදනිත්ද? ජරා මරණය නොදනිත්ද, ජරා මරණයන්ගේ ඇතිවීම නොදනිත්ද, ජරාමරණයන්ගේ නැතිවීම නොදනිත්ද, ජරා මරණය නැතිවෙන මාර්ගය නොදනිත්ද, ඉපදීම නොදනිත්ද, ඉපදීම ඇතිවීම නොදනිත්ද, ඉපදීම නැතිවීම නොදනිත්ද, ඉපදීම නැතිකරන මාර්ගය නොදනිත්ද, භවය නොදනිත්ද, භවය ඇතිවීම නොදනිත්ද, භවය නැතිවීම නොදනිත්ද, භවය නැතිකරන මාර්ගය නොදනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවීම නොදනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීම නොදනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිකරන මාර්ගය නොදනිත්ද, තණ්හාව නොදනිත්ද තණ්හාව ඇතිවීම නොදනිත්ද, තණ්හාව නැතිවීම නොදනිත්ද, තණ්හාව නැතිකරන මාර්ගය නොදනිත්ද, වේදනාව නොදනිත්ද, වේදනාව ඇතිවීම නොදනිත්ද, වේදනාව නැතිවීම නොදනිත්ද, වේදනාව නැති කරන මාර්ගය නොදනිත්ද, ස්පර්ශය නොදනිත්ද, ස්පර්ශය ඇතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිවීම නොදනිත්ද, ස්පර්ශය නැතිකරන මාර්ගය නොදනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නොදනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) ඇතිවීම නොදනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැතිවීම නොදනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැතිකරන මාර්ගය නොදනිත්ද, නාමරූපයන් නොදනිත්ද, නාමරූපයන් ඇතිවීම නොදනිත්ද, නාමරූපයන් නැතිවීම නොදනිත්ද, නාම රූපයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණය ඇතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද, සංස්කාරයන් නොදනිත්ද, සංස්කාරයන්ගේ ඇතිවීම නොදනිත්ද, සංස්කාරයන්ගේ නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිවන මාර්ගය නොදනිත්ද,
මේ ධර්මයන් නොදනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම නොදනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම නොදනිත්ද, මේ ධර්මයන් නැතිවන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද නොවෙති. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහි තෙමේම දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්.
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ ධර්මයන් දනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද, මේ ධර්මයන් නැතිවන මාර්ගය දනිත්ද, කිනම් ධර්මයක් දනිත්ද, කිනම් ධර්මයක්හුගේ ඇතිවීම දනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවීම දනිත්ද? කිනම් ධර්මයක්හුගේ නැතිවෙන මාර්ගය දනිත්ද? ජරාමරණය දනිත්ද, ජරාමරණයාගේ ඇතිවීම දනිත්ද, ජරාමරණය නැතිවීම දනිත්ද, ජරාමරණය නැතිවෙන මාර්ගය දනිත්ද, ඉපදීම දනිත්ද, ඉපදීම ඇතිවීම දනිත්ද, ඉපදීම නැතිවීම දනිත්ද, ඉපදීම නැතිවෙන මාර්ගය දනිත්ද, භවය දනිත්ද, භවය ඇතිවීම දනිත්ද, භවය නැතිවීම දනිත්ද, භවය නැතිවෙන මාර්ගය දනිත්ද, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) දනිත්ද උපාදානය (දැඩිව අල්ලාගැනීම) ඇතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවීම දනිත්ද, උපාදානය (දැඩිව අල්ලාගැනීම) නැතිවෙන මාර්ගය දනිත්ද, තණ්හාව දනිත්ද, තණ්හාව ඇතිවීම දනිත්ද, තණ්හාව නැතිවීම දනිත්ද, තණ්හාව නැතිවෙන මාර්ගය දනිත්ද, වේදනාව දනිත්ද, වේදනාව ඇතිවීම දනිත්ද, වේදනාව නැතිවීම දනිත්ද වේදනාව නැති වෙන මාර්ගය දනිත්ද ස්පර්ශය දනිත්ද, ස්පර්ශය ඇතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවීම දනිත්ද, ස්පර්ශය නැතිවෙන මාර්ගය දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) ඇතිවීම දනිත්ද, සළායතන (ෂට් ඉන්ද්‍රිය) නැතිවීම දනිත්ද, සළායතනයන් (ෂට් ඉන්ද්‍රිය) නැතිවෙන මාර්ගය දනිත්ද, නාමරූපයන් දනිත්ද, නාමරූපයන් ඇතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවීම දනිත්ද, නාමරූපයන් නැතිවෙන මාර්ගය දනිත්ද, විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණය ඇතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැතිවෙන මාර්ගය දනිත්ද, සංස්කාරයන් දනිත්ද, සංස්කාරයන්ගේ ඇතිවීම දනිත්ද, සංස්කාර නැතිවීම දනිත්ද, සංස්කාර නැතිවෙන මාර්ගය දනිත්ද,
මේ ධර්මයන් දනිත්ද, මේ ධර්මයන්ගේ ඇතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවීම දනිත්ද, මේ ධර්මයන්ගේ නැතිවෙන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සම්මතද, බ්‍රාහ්මණයන් අතුරෙහි බ්‍රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හුද ශ්‍රමණ භාවයේ ඵලයද, බ්‍රාහ්මණ භාවයේ ඵලයද, මේ ආත්මභාවයෙහි තෙමේම දැන, ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරති.
1. 2. 5.
5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
15. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
ඉක්බිති කච්චායනගොත්ත නම් මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක සිටියේය. එක් පැත්තක සිටියාවූ, ඇවැත් කච්චායනගොත්ත නම් මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි. ස්වාමීනි කෙතෙක් කරුණකින් වනාහි සම්‍යක්දෘෂ්ටිය වේද?”
කච්චායනය, මේ ලෝවැසි තෙම බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද, නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටියේ වෙයි. කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට වනාහි ලෝකයෙහි නැත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය නොවෙයි. කච්චායනය, ලෝකයේ නැතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය, නොවෙයි කච්චායනය, මේ ලෝවැසි තෙම වනාහි බොහෝ සෙයින් උපාය උපාදාන අභිනිවෙස නම්වූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් බඳනා ලද්දේ වෙයි. (එහෙත්) මේ ආර්ය ශ්‍රාවකතෙම අකුසල් සිතට පිහිටවූ, නිවාසස්ථානවූ, නිදනස්ථානයවූ උපාය උපාදානයයි කියනලද තෘෂ්ණාදෘෂ්ටි දෙකින් මෙය මාගේ ආත්මයයි නොපැමිණෙයි, නොගනියි, නොපිහිටයි. උපදිනුයේද පඤ්චස්කන්ධ දුකමය, නිරුද්ධ වන්නේද පඤ්චස්කන්ධ දුකමය, එයින් අන්‍යවූ සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි, ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂවූම ඥානයක් වෙයි. කච්චායනය, මෙතෙක් කරුණුවලින් සම්‍යක්දෘෂ්ටිය වෙයි.
කච්චායනය, සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය වනාහි එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි. කච්චායනය, මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක. (කෙසේද?) අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොමනස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ. අවිජ්ජාව සහමුලින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවේ. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.”
1. 2. 6.
6. ධර්ම කථික සූත්‍රය
16. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, ධර්මකථිකයාය, ධර්මකථිකයායයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්ම කථිකයෙක් වෙයිද?”