1. 2. 5.
5. කාත්‍යායන ගෝත්‍ර සූත්‍රය
15. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
ඉක්බිති කච්චායනගොත්ත නම් මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තෙක සිටියේය. එක් පැත්තක සිටියාවූ, ඇවැත් කච්චායනගොත්ත නම් මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබයි. ස්වාමීනි කෙතෙක් කරුණකින් වනාහි සම්‍යක්දෘෂ්ටිය වේද?”
කච්චායනය, මේ ලෝවැසි තෙම බොහෝ සෙයින් ‘ඇත්තේය යන දෘෂ්ටියෙහිද, නැත්තේය යන දෘෂ්ටියෙහිද පිහිටියේ වෙයි. කච්චායනය, ලෝකයේ ඇතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට වනාහි ලෝකයෙහි නැත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය නොවෙයි. කච්චායනය, ලෝකයේ නැතිවීම ඇතිසැටියෙන් මනා නුවණින් දකින්නාට ලෝකයෙහි ඇත්තේය යන යම් දෘෂ්ටියක් වේ නම් එය, නොවෙයි කච්චායනය, මේ ලෝවැසි තෙම වනාහි බොහෝ සෙයින් උපාය උපාදාන අභිනිවෙස නම්වූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් බඳනා ලද්දේ වෙයි. (එහෙත්) මේ ආර්ය ශ්‍රාවකතෙම අකුසල් සිතට පිහිටවූ, නිවාසස්ථානවූ, නිදනස්ථානයවූ උපාය උපාදානයයි කියනලද තෘෂ්ණාදෘෂ්ටි දෙකින් මෙය මාගේ ආත්මයයි නොපැමිණෙයි, නොගනියි, නොපිහිටයි. උපදිනුයේද පඤ්චස්කන්ධ දුකමය, නිරුද්ධ වන්නේද පඤ්චස්කන්ධ දුකමය, එයින් අන්‍යවූ සත්වයෙක් පුද්ගලයෙක් නොවේයයි සැක නොකරයි, දෙයාකාරයකින් නොසිතයි, ඔහුට මෙහි ප්‍රත්‍යක්ෂවූම ඥානයක් වෙයි. කච්චායනය, මෙතෙක් කරුණුවලින් සම්‍යක්දෘෂ්ටිය වෙයි.
කච්චායනය, සියල්ල ඇත යන මේ ශාස්වත දෘෂ්ටිය වනාහි එක් අන්තයකි. සියල්ල නැත යන මේ උච්ඡේද දෘෂ්ටිය දෙවෙනි අන්තයයි. කච්චායනය, මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරන සේක. (කෙසේද?) අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොමනස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු එකම දුක්ගොඩ ඇතිවේ. අවිජ්ජාව සහමුලින් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙති. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවේ. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවේය කියායි.”
1. 2. 6.
6. ධර්ම කථික සූත්‍රය
16. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, ධර්මකථිකයාය, ධර්මකථිකයායයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ධර්ම කථිකයෙක් වෙයිද?”
ඉදින් මහණතෙම ජරා මරණයට කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, ජරා මරණ නැතිකිරීම පිණිසද, ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් මහණතෙම ජරා මරණයට කලකිරීම පිණිසද නොඇලීම පිණිසද සහ ජරා මරණ නැතිකිරීම පිණිසද පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම (ධර්මානුධර්ම පටිපන්න) ලෝකෝත්තර ධර්මයට අනුව පිළිපන් භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් මහණතෙම ජරා මරණයට කලකරීම හේතුකොටගෙන, නොඇලීම හේතුකොටගෙන, ජරා මරණ නැතිකිරීම හේතුකොටගෙන, සතර උපාදානයන්ගේ අල්වා ගැනීමෙන් මිදුනේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් මහණතෙම ඉපදීමට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම භවයට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම තණ්හාවට කලකිරීම; නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම වේදනාවට කලකිරීම, නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම ස්පර්ශයට කලකිරීම නොඇලීම එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සළායතනයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම නාමරූපයන්ට කලකිරීම, නොඇලී, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම අවිජ්ජාවට කලකිරීම, නොඇලීම, එය නැතිකිරීම පිණිස ධර්මදේශනා කෙරේද, ඒ මහණතෙම ධර්මකථික භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් මහණතෙම ජාතියට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම භවයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම උපාදානයට (තද ඇල්මට) කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම තණ්හාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම වේදනාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේවෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධමර්යට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම ස්පර්ශයට කලකිරීම, නොඇලී සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සළායතනයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම නාමරූපයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැති කිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම විඤ්ඤාණයට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම සංස්කාරයන්ට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණ තෙම අවිජ්ජාවට කලකිරීම, නොඇලීම සහ එය නැතිකිරීම පිණිස පිළිපන්නේ වෙයිද, ඒ මහණතෙම ලෝකොත්තර ධර්මයට අනුකූලවූ, ධර්මයට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
ඉදින් මහණතෙම ජාතියට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම භවයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම උපාදානයට (තද ඇල්මට) කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම තණ්හාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම වේදනාවට කලකිරීමෙන්, නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම ස්පර්ශයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සළායතනයන්ට කලකිරීමෙන් නොඇල්මෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේ වේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම නාමරූපයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණ තෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම විඤ්ඤාණයට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම සංස්කාරයන්ට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය. ඉදින් මහණතෙම අවිජ්ජාවට කලකිරීමෙන් නොඇලීමෙන් එය නැතිකිරීමෙන් සහ සතර උපාදානයන්ගේ වශයෙන් කිසිවක් නොගැනීමෙන් වැළකුණේවේද, ඒ මහණතෙම මේ ආත්මයෙහි නිවණට පැමිණි භික්ෂුවයයි කීමට සුදුසුය.
1. 2. 7.
අචේල කස්සප සූත්‍රය
17. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහිවූ, “කලන්දකනිවාප” නම් ලත් වේළුවනාරාමයෙහි වැඩ වසනසේක. අථ ඛො භගවා (එකල්හි භාග්‍යවතුන් වහන්සේ) පෙරවරු කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, රජගහ නුවරට පිඬුපිණිස වැඩිසේක. අචේල කාශ්‍යපතෙම වනාහි වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුවේය. දැක, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද, සිහිකටයුතුවූද, කථාව කොට නිමවා, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ, අචේල කාශ්‍යපතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “ඉදින් අපට ප්‍රශ්නයක් ඇසීමට ඉඩ දෙතොත් අපි භවත් ගෞතමයන්ගෙන් කිසියම් කාරණයක් අසන්නෙමු”යි.