1. 10. 8.
සමුද්ද සූත්‍රය
221. මා විසින් මෙසේ අසනලදී, එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හැර මහ මුහුද ක්ෂයවීමට, විනාශවීමට යන්නේවේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ක්ෂයවූ, විනාශවූ, මහ මුහුදෙහිවූ, යම් ජලයක් වේද ඉතිරිවූ, දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, මේ දෙකින් කුමක්වනාහි ඉතා අධිකවේද?”
“ස්වාමීනි. ක්ෂයවූ, විනාශවූ, මහ මුහුදෙහිවූ, යම් ජලයක් වේද, එයම ඉතා අධික වේ. ඉතිරිවූ, දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්ප වේ. ඉතිරිවූ, දියබිඳු දෙක හෝ තුන හෝ, ක්ෂයවූ, විනාශවූ, මහ මුහුදෙහිවූ, දිය හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.” “මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක් ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම ආර්ය ශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
1. 10. 9.
පබ්බතූපමා සූත්‍රය
222. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක්තෙම හිමාලය පර්වතරාජයාගේ සමීපයෙහි අබඇට හතක් පමණවූ, ගල්කැට එක් තැනෙක්හි තබන්නේ වේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? අබඇට හතක් පමණවූ, එක් තැනක තබන ලද්දාවූ, යම් ගල්කැට වේද, යම් හිමාලය පර්වත රාජයෙක් වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා විශාලවේද?”
“ස්වාමීනි, යම් මේ හිමාලය පර්වත රාජයෙක් වේද, එයම ඉතා විශාල වේ. එක් තැනෙක්හි තබන ලද්දාවූ, අබඇට හතක් පමණවූ, ගල්කැට ඉතා කුඩා වේ. එක් තැනෙක්හි තබන ලද්දාවූ, අබඇට හතක් පමණවූ ගල්කැට හිමවත් පර්වත රාජයා හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.” “මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක් ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම ආර්ය ශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
1. 10. 10.
පබ්බතූපමා සූත්‍රය
223. මා විසින් මෙසේ අසනලදී, එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි අබඇට හතක් පමණවූ, ගල්කැට හැර, හිමවත් පර්වතරාජයා ක්ෂයවීමට, නැසීමට යන්නේ වේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ක්ෂයවූ, විනාශවූ, යම් හිමාලය පර්වතරාජයෙක් වේද, ඉතිරිවූ, අබඇට හතක් පමණවූ, යම් ගල්කැට වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා විශාල වේද?”
“ස්වාමීනි, ක්ෂයවූ, විනාශවූ, යම් මේ හිමාලය පර්වත රාජයෙක් වෙයිද, එයම ඉතා විශාල වේ. ඉතිරිවූ, අබඇට හතක් පමණවූ, ගල්කැට ඉතා කුඩා වේ. ඉතිරිවූ අබඇට හත පමණවූ ගල්කැට, ක්ෂයවූ, විනාශවූ, හිමවත් පර්වතරාජයා හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
1. 10. 11.
පබ්බතූපමා සූත්‍රය
224. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මහාමේරු පර්වත රාජයාගේ සමීපයෙහි මුංඇට හතක් පමණවූ, ගල්කැට එක් තැනක තබන්නේවේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? එක් තැනක තබන ලද්දාවූ, මුංඇට හතක් පමණවූ, යම් ගල්කැට වේද, යම් මහාමේරු පර්වතරාජයෙක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා විශාල වේද?”
“ස්වාමීනි, යම් මේ මහාමේරු පර්වත රාජයෙක් වේද, එයම ඉතා විශාල වේ. එක් තැනක තබන ලද්දාවූ, මුංඇට හතක් පමණවූ, ගල්කැට ඉතා ස්වල්ප බවට පැමිණෙයි. එක් තැනක තබන ලද්දාවූ, මුංඇට හත පමණවූ ගල්කැට, මහාමේරු පර්වතරාජයා හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්‍ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, ආර්ය ශ්‍රාවක පුද්ගලයාගේ ධර්මාවබෝධය හා සමග සැසැඳීමේදී (බුද්ධශාසනයෙන්) අන්‍යවූ, තීර්ථක, ශ්‍රමණ, බ්‍රහ්මණ, පරිබ්‍රාජකයින්ගේ ධර්මාවබෝධය සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.” “මහණෙනි, එසේම මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගලතෙම මහත්වූ නුවණ ඇත්තේය.”
අභිසමය වර්ගය දසවැනියි.
එහි උද්දානය:
නඛසිඛා සූත්‍රයද, පොක්ඛරණී සූත්‍රය සහ සම්භෙජ්ජ උදක සූත්‍ර දෙකද, පඨවි සූත්‍ර දෙකද, සමුද්ද සූත්‍ර දෙකද, පබ්බතූපමා සූත්‍ර තුනදැයි මේ අභිසමය සංයුක්තයෙහි සූත්‍ර එකොළොසකි.
අභිසමය සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
බුද්ධ, ආහාර, දසබල, කළාර, පස්වන ගහපති ද, දුක්ඛ වර්ගය, මහා වර්ගය, අටවන සමණ බ්‍රාහ්මණ ද, නවවන අන්තරපෙය්‍යාල ද, දසවන අභිසමය වර්ගය ද වේ.