10. අභිසමය වර්ගය
1. 10. 1.
නඛසිඛා සූත්‍රය
214. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිය පිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක: “මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මා විසින් යම් මේ නිය පිට තබන ලද පස් ස්වල්පයද, මේ මහ පොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද?”
“ස්වාමීනි, යම් මේ මහ පොළොවක් වේද, එයම වඩා ලොකුවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, පස් ස්වල්පය මහ පොළොව හා සමග සසඳා බලන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.’
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, ධර්මාවබෝධය වනාහි මේසා මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම මේසා මහත්වූ අර්ථ ඇත්තේය.”
1. 10. 2.
පොක්ඛරණී සූත්‍රය
215. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි දිගින් පනස් යොදුන්වූ, පුළුලින් පනස් යොදුන්වූ, ගැඹුරින් පනස් යොදුන්වූ, කපුටන්ට පානය කරනු හැකිවනසේ කට ළඟට පිරුණාවූ, පොකුණක් වේද, එයින් පුරුෂයෙක් කුසතණ පතක අගින් දිය බිඳක් ගන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද කුසතණපත් අගින් ගන්නා ලද යම් දිය බිඳක් වේද, පොකුණෙහි ඉතිරිවූ යම් දියක් වේද, මේ දෙකින් කවරක් වනාහි අධිකතර වේද?”
“ස්වාමීනි, යම් මේ පොකුණු දියක් වේද, එයම අධිකතරවේ. කුසතණ අගින් ගන්නා ලද දිය ඉතා ස්වල්පවේ. කුසතණ අගින් ගත් දිය, පොකුණු දිය හා සසඳන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකට ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය, ක්ෂයවූ, කෙළවරවූ, දුක්ගොඩ හා සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
1. 10. 3.
සම්භෙජ්ජ උදක සූත්‍රය
216. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි යම් තැනෙක්හිදී මේ පඤ්චමහා ගංගාව එක්ව ගලා බසිත්ද, එක්වෙත්ද:- ඒ කවර ගංගාවෝද? ගංගා, යමුනා, අචිරවති, සරභු, මහී යන මොහුය. එතැනින් පුරුෂයෙක් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ ගන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද? ගන්නා ලද, යම් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, යම් ගංගා එක්වූ දියක් වේද, මේ දෙකින් කුමක් වනාහි අධිකතර වේද?”
“ස්වාමීනි, යම් මේ ගංගා එක්වූ ජලයක්වේද, එයම ඉතා අධික වේ. ගන්නා ලද දිය බිඳු දෙක හෝ තුන හෝ ගංගා එක්වූ ජලය හා සසඳන කල්හි, සියයකින් කොටසකටද නොපැමිණෙයි. දහසකින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයකින් කොටසකටද නොපැමිණෙයි.” “මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේදුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
1. 10. 4.
සම්භෙජ්ජ උදක සූත්‍රය
217. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි යම් තැනෙක්හිදී, මේ ගංගාවෝ එක්ව ගලායත්ද, එක්වෙත්ද, ඒ කවර ගංගාවෝද? ගංගා, යමුනා, අචිරවති, සරභු, මහී යන මොහුය. දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ හැර, ඒ ජලය ක්ෂයවීමට විනාශවීමට යන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද? ක්ෂයවූ විනාශවූ යම් ගංගා එක්වූ, යම් ජලයක් වේද, ඉතිරිවූ යම් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?”
“ස්වාමීනි, ක්ෂයවූ, විනාශවූ යම් මේ ගංගා එක්වූ ජලයක් වේද, එයම ඉතා අධිකවේ. ඉතිරිවූ දිය බිඳු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්පය ඉතිරිවූ දිය බිඳු දෙක හෝ තුන ක්ෂයවූ, විනාශවූ, ගංගා එක්වූ ජලය හා සසඳන කල්හි සියයකින් කොටසකටද නොපැමිණෙයි. දහසකින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයකින් කොටසකටද නොපැමිණෙයි.” “මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”