1. 10. 4.
සම්භෙජ්ජ උදක සූත්රය
217. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි යම් තැනෙක්හිදී, මේ ගංගාවෝ එක්ව ගලායත්ද, එක්වෙත්ද, ඒ කවර ගංගාවෝද? ගංගා, යමුනා, අචිරවති, සරභු, මහී යන මොහුය. දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ හැර, ඒ ජලය ක්ෂයවීමට විනාශවීමට යන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද? ක්ෂයවූ විනාශවූ යම් ගංගා එක්වූ, යම් ජලයක් වේද, ඉතිරිවූ යම් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද?”
“ස්වාමීනි, ක්ෂයවූ, විනාශවූ යම් මේ ගංගා එක්වූ ජලයක් වේද, එයම ඉතා අධිකවේ. ඉතිරිවූ දිය බිඳු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්පය ඉතිරිවූ දිය බිඳු දෙක හෝ තුන ක්ෂයවූ, විනාශවූ, ගංගා එක්වූ ජලය හා සසඳන කල්හි සියයකින් කොටසකටද නොපැමිණෙයි. දහසකින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයකින් කොටසකටද නොපැමිණෙයි.” “මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්යක්දෘෂ්ටියෙන් යුක්තවූ නුවණින් ආර්යසත්යය අවබෝධ කළාවූ, ආර්යශ්රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
1. 10. 5.
පඨවි සූත්රය
218. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මහ පොළොවෙන් ඩෙබර ඇට හතක් පමණවූ, මැටිගුළියක් ගෙන, එක් තැනක තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ඩෙබර ඇට හතක් පමණවූ, යම් මැටි ගුළියක් ගෙන එක් තැනක තබන ලද්දේ වේද, යම් මේ මහ පොළොවක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා අධිකවේද?”
“ස්වාමීනි, යම් මේ මහ පොළොවක් වෙයිද, එයම ඉතා අධිකවේ. එක් පැත්තක තබන ලද, ඩෙබර ඇට හතක් පමණවූ මැටි ගුළිය ඉතා ස්වල්පවේ. එක් පැත්තක තබනලද, ඩෙබර ඇට හතක් පමණවූ, මැටි ගුළිය, මහපොළොව හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.” “මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්යය අවබෝධ කළාවූ, ආර්යශ්රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම ආර්යශ්රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”
1. 10. 6.
පඨවි සූත්රය
219. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ වනාහි ඩෙබර ඇට හතක් පමණවූ මැටි ගුළිය හැර මේ මහ පොළොව ක්ෂයවීමට නැතිවීමට යන්නේවේද, මහණෙනි, ඒ ගැන කෙසේ සිතන්නහුද? ක්ෂයවූ විනාශවූ, යම් මහ පොළොවෙක් වේද, ඉතිරිවූ, ඩෙබර ඇට හතක් පමණවූ, යම් මැටි ගුළියක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා අධික වේද?”
“ස්වාමීනි, ක්ෂයවූ, විනාශවූ, යම් මහ පොළොවක් වේද, එයම ඉතා අධිකවේ. ඉතිරිවූ ඩෙබර ඇට හතක් පමණවූ, මැටි ගුළිය ඉතා ස්වල්පවේ. ඉතිරිවූ, ඩෙබර ඇට හත පමණවූ, මැටි ගුළිය ක්ෂයවූ, විනාශවූ, මහ පොළොව හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්යය අවබෝධ කළාවූ, ආර්යශ්රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක් සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි. “මහණෙනි, එසේම ආර්ය ශ්රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත් අර්ථ ඇත්තේය.”
1. 10. 7.
සමුද්ද සූත්රය
220. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහ මුහුදින් දියබිඳු දෙකක් හෝ තුනක් හෝ ගන්නේවේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? මහ මුහුදින් ගන්නා ලද යම් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, මහ මුහුදෙහිවූ යම් දියක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා අධික වේද?”
“ස්වාමීනි, මහ මුහුදෙහිවූ යම් මේ දියක් වේද, එයම ඉතා අධික වේ. ගන්නාලද දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්ප වේ. ගන්නාලද, දියබිඳු දෙක හෝ තුන හෝ මහ මුහුදෙහිවූ දිය හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙක් කොටසකටද නොපැමිණෙයි.” “මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්යය අවබෝධ කළාවූ ආර්ය ශ්රාවකයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය, ක්ෂයවූ, කෙළවරවූ, දුක් ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.” “මහණෙනි, එසේම ආර්ය ශ්රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”