1. 1. 9.
කස්සප සූත්‍රය
9. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, “කස්සප” නම් සම්මාසම්බුදුන්ට බුද්ධත්වයට පෙරම බුදුනොවූ, බෝසත් කලම, මේ සිත පහළවිය. ‘මේ සත්ත්වලෝකයා දුකට පැමිණියේ වෙයි, උපදී, ජරාවට පත්වෙයි, මැරෙයි, චුතවෙයි, පිළිසිඳ ගනී, එතකුදු වුවත් ජරාමරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක ජරා මරණයෙන් යුත් මේ දුක නැති කිරීම දකින්නේද?’ කියායි. ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි ජරාව සහ මරණය ඇතිවේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?’ කියායි. “මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇති කල වනාහි ජරාව සහ මරණය ඇති වෙයි. ඉපදීම නිසා ජරාව සහ මරණය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය. “මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් ඇති කල්හි ඉපදීම ඇතිවේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇති කල්හි වනාහි ඉපදීම ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය. “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. කුමක් ඇති කල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි වනාහි භවය ඇතිවෙයි, ‘උපාදානය නිසා භවය ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය. “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘තණ්හාව’ ඇති කල්හි වනාහි උපාදනය ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය. “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය, ‘කුමක් ඇති කල්හි තණ්හාව ඇතිවේද කුමක් නිසා තණ්හාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය. “මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, ‘කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇති වෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.” “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සළායතන ඇති වේද, කුමක් නිසා සළායතන ඇතිවේද?’ කියායි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාම රූපයන් ඇති කල්හි වනාහි සළායතන ඇති වෙයි. නාමරූපන් නිසා සළායතන ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය. “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූප ඇතිවේද, කුමක් නිසා නාමරූප ඇතිවේද?’ කියායි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇති වෙයි, විඤ්ඤාණය නිසා නාම රූප ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය. “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාරයෝ ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇති වෙයි’ සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය. “මහණෙනි; කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සංස්කාර ඇතිවේද?, කුමක් නිසා සංස්කාර ඇති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වෙයි. අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙත්’ කියා (නුවණින්) අවබෝධ විය. “මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතිය (ඉපදීම) ද, ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක්ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට වනාහි පහළවීම, යන පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි; කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ඉපදීම නැති කල්හි වනාහි ජරාමරණය ඇති නොවේ. ඉපදීම නැති කිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ,’ යයි (නුවණින්) අවබෝධ විය. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදීම නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය. “මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද, කවරක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය නැතිකල්හි වනාහි භවය ඇතිනොවේ. උපාදානය නැති කිරීමෙන් භවය නැතිවේය’යි (නුවණින්) අවබෝධ විය. “මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය, ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය නැතිවේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇතිනොවේ. තණ්හාව නැති කිරීමෙන් උපාදානය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය. “මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය. “මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. “කුමක් නැති කල්හි වනාහි වේදනාව නැතිවේද කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව ඇති නොවේ. ස්පර්ශය නැතිකිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය. “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය. “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි සළායතනයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතන නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයෝ නැති කල්හි වනාහි සළායතන ඇති නොවේ. නාමරූපයෝ නැතිකිරීමෙන් සළායතන නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය. “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි නාමරූප නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයන් නැති වේද?” කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැතිකල්හි වනාහි නාමරූප ඇති නොවේ. විඤ්ඤාණය නැති කිරීමෙන් නාමරූප නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය. “මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේද? කවරක් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේද?” කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාර නැතිවේද, කවරක් නැති කිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති කස්සප නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නැතිවේයයි (නුවණින්) අවබෝධ විය. මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, කස්සප නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීමයයි පෙර නොඇසූ කාරණයෙහි නුවණැස පහළවිය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.”
[පෙය්‍යාලයෙන් කෙටි කොට දක්වන ලද (5-9) මේ සූත්‍රයන් විපස්සී සූත්‍රයෙහි ආ පාළි ක්‍රමයටම විස්තර වශයෙන් දත යුතුය.]
1. 1. 10.
ගොතම සූත්‍රය
10. මහණෙනි, බුද්ධත්වයට පෙරම, බුදු නොවූ, බෝසත්ව සිටි මට මේ අදහස පහළ විය: “ඒකාන්තයෙන්ම මේ ලෝකයා දුකට පැමිණියේය. උපදියි, දිරයි, මැරෙයි, චුත වෙයි, නැවත උපදියි. එහෙත් ජරාමරණ නම් වූ මේ දුකින් මිදීම (නික්මීම) නොදනියි. කවර කලෙක නම් ජරාමරණ නම් වූ මේ දුකින් මිදීම පෙනෙන්නේද?” කියායි.
මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය: “කුමක් ඇති කල්හි ජරාමරණ ඇති වේද? කුමක් නිසා ජරාමරණ ඇති වේද?” කියායි. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවෙන් මෙසේ අවබෝධ විය: “ඉපදීම ඇති කල්හි ජරාමරණ ඇති වෙයි. ඉපදීම නිසා ජරාමරණ ඇති වෙයි” කියායි.
මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය: “කුමක් ඇති කල්හි ඉපදීම ඇති වේද? -පෙ- භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ස්පර්ශය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සංස්කාරයෝ ඇති වෙත්ද? කුමක් නිසා සංස්කාරයෝ ඇති වෙත්ද?” කියායි. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවෙන් මෙසේ අවබෝධ විය: “අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ ඇති වෙත්. අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇති වෙත්” කියායි.
“මහණෙනි, මෙසේ මෙය අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරාමරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැලපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.
මහණෙනි, මට වනාහි සමුදය සමුදය යයි පෙර නොඇසූ විරූ ධර්මය විෂයයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරා මරණය නැති වේද, කවරක් නැතිවීමෙන් ජරා මරණය නැති වේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘ඉපදීම නැති කල්හි වනාහි ජරා මරණය ඇති නොවේ. ඉපදීම නැතිකිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’යයි (නුවණින්) අවබෝධවිය.
මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය: “කුමක් නැති කල්හි ඉපදීම ඇති නොවේද? -පෙ- භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ස්පර්ශය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සංස්කාරයෝ ඇති නොවෙත්ද? කුමක් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙත්ද?” කියායි. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවෙන් මෙසේ අවබෝධ විය: “අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ ඇති නොවෙත්. අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙත්” කියායි.
“මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාරයන් නැතිවේ. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි. ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරාමරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැති වෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවීම වෙයි.
මහණෙනි, මට වනාහි නිරෝධය නිරෝධයයි (නැතිවීම නැතිවීමයයි) පෙර නොඇසූ විරූ ධර්මය විෂයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
පළමුවන බුද්ධ වර්ගය නිමි.
එහි උද්දානය:
පටිච්චසමුප්පාද සූත්‍රය, විභඩ්ග සූත්‍රය, ප්‍රතිපදා සූත්‍රය, විපස්සී සූත්‍රය, සිඛී සූත්‍රය, වෙස්සභූ සූත්‍රය, කකුසන්ධ සූත්‍රය, කෝනාගමන සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, සහ මහත් යසස් ඇති, ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ පිළිබඳවූ ගෞතම සූත්‍රයයි. (මේ වර්ගයේ සූත්‍ර දහයකි.)