1. 1. 10.
ගොතම සූත්‍රය
10. මහණෙනි, බුද්ධත්වයට පෙරම, බුදු නොවූ, බෝසත්ව සිටි මට මේ අදහස පහළ විය: “ඒකාන්තයෙන්ම මේ ලෝකයා දුකට පැමිණියේය. උපදියි, දිරයි, මැරෙයි, චුත වෙයි, නැවත උපදියි. එහෙත් ජරාමරණ නම් වූ මේ දුකින් මිදීම (නික්මීම) නොදනියි. කවර කලෙක නම් ජරාමරණ නම් වූ මේ දුකින් මිදීම පෙනෙන්නේද?” කියායි.
මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය: “කුමක් ඇති කල්හි ජරාමරණ ඇති වේද? කුමක් නිසා ජරාමරණ ඇති වේද?” කියායි. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවෙන් මෙසේ අවබෝධ විය: “ඉපදීම ඇති කල්හි ජරාමරණ ඇති වෙයි. ඉපදීම නිසා ජරාමරණ ඇති වෙයි” කියායි.
මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය: “කුමක් ඇති කල්හි ඉපදීම ඇති වේද? -පෙ- භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ස්පර්ශය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සංස්කාරයෝ ඇති වෙත්ද? කුමක් නිසා සංස්කාරයෝ ඇති වෙත්ද?” කියායි. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවෙන් මෙසේ අවබෝධ විය: “අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ ඇති වෙත්. අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇති වෙත්” කියායි.
“මහණෙනි, මෙසේ මෙය අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරාමරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැලපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.
මහණෙනි, මට වනාහි සමුදය සමුදය යයි පෙර නොඇසූ විරූ ධර්මය විෂයයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරා මරණය නැති වේද, කවරක් නැතිවීමෙන් ජරා මරණය නැති වේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘ඉපදීම නැති කල්හි වනාහි ජරා මරණය ඇති නොවේ. ඉපදීම නැතිකිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’යයි (නුවණින්) අවබෝධවිය.
මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය: “කුමක් නැති කල්හි ඉපදීම ඇති නොවේද? -පෙ- භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ස්පර්ශය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සංස්කාරයෝ ඇති නොවෙත්ද? කුමක් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙත්ද?” කියායි. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාවෙන් මෙසේ අවබෝධ විය: “අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ ඇති නොවෙත්. අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙත්” කියායි.
“මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාරයන් නැතිවේ. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි. ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරාමරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැති වෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවීම වෙයි.
මහණෙනි, මට වනාහි නිරෝධය නිරෝධයයි (නැතිවීම නැතිවීමයයි) පෙර නොඇසූ විරූ ධර්මය විෂයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
පළමුවන බුද්ධ වර්ගය නිමි.
එහි උද්දානය:
පටිච්චසමුප්පාද සූත්‍රය, විභඩ්ග සූත්‍රය, ප්‍රතිපදා සූත්‍රය, විපස්සී සූත්‍රය, සිඛී සූත්‍රය, වෙස්සභූ සූත්‍රය, කකුසන්ධ සූත්‍රය, කෝනාගමන සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, සහ මහත් යසස් ඇති, ශාක්‍ය මුනීන්ද්රයන් වහන්සේ පිළිබඳවූ ගෞතම සූත්‍රයයි. (මේ වර්ගයේ සූත්‍ර දහයකි.)