2. 3. 4.
ඝටීකාර සූත්රය
105. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි ඝටීකාර දිව්යපුත්ර තෙම රෑ පෙරයම ගෙවුනු පසු බබළන ශරීර පැහැ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ ඝටීකාර දේවපුත්ර තෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.
“ස්වාමීනි, භික්ෂූන් සත් නමක් අවිහ බඹලොවට (උත්පත්ති වශයෙන්) පැමිණියාහු, කෙලෙසුන්ගෙන් මිදුණෝ, රාග ද්වේෂයන් නැසුවෝ, ලොව ඇල්ම තර්ණය කළහ.”
[භාග්යවතුන් වහන්සේ:]
“කෙලෙස් මඩ ඇති, තරණයට දුෂ්කරවූ, සංසාරවර්තය ඒ කවර කෙනෙක් නම් තරණය කළෝද? කවුරුනම් මිනිස් කය හැර දිව්යයෝගය ඉක්මවාලූවෝද?”
[දෙවපුත්තො:]
“උපක ද, පලගණ්ඩ ද, පුක්කුසාති ද යන මොවුන් තුන් දෙනාත්, භද්දිය ද, ඛන්ඩදේව ද, බාහුරග්ගි ද, පිඞ්ගිය ද යන මොවුන් මනුෂ්ය දේහය හැර, දිව්යයෝගය ඉක්මවූහ.”
[භාග්යවතුන් වහන්සේ:]
“මරහුගේ මළපුඩුව දුරලූ ඔවුන්ගේ ගුණ ඔබ කීයෙහිය. ඔවුහු කාගේ ධර්මයක් දැනගෙන සසර බැම්ම සිඳලූහුද?”
[දේවපුත්රයා:]
“ඔවුහු යමෙකුගේ ධර්මය දැන සසර බැම්ම සින්දෝ නම්, ඒ භාග්යවතුන්ගේ මිස අනෙකෙකුගේ නොවේ. ඔබගේ ශාසනය මිස අනෙකක් නොවේ.
යම් තැනෙක්හි සියලු නාමයත්, සියලු රූපයත් නිරුද්ධවේද, ඒ (නිර්වාණ) ධර්මය ඔවුහු මේ සස්නෙහි දැන සසර බැම්ම සින්දහ”
[භාග්යවතුන් වහන්සේ:]
“දුකසේ දතයුතු අර්ථ ඇති, දුකසේ අවබෝධ කටයුතු අර්ථ ඇති, ගැඹුරු වචනයක් කීයෙහි, ඔබ කාගේ ධර්මයක් දැනගෙන මෙබඳු වචනයක් කීයෙහිද?”
[දෙවපුත්තො:]
“මම පෙර වේහලිඞ්ග ගම වළන් සාදන (ඝටීකාර නම්) කුඹලෙක් වීමි. මවු පියන් රැක බලා ගන්නා ඒ මම කාශ්යප ශාස්තෘාන් වහන්සේගේ උපාසකයෙක් වීමි.
“මෛථුන සේවනයෙන් වැළකුණෙක් වීමි. නිරාමිෂ බ්රහ්මචාරී (හෙවත් අනාගාමී) වීමි. ඔබ හා එකම ගම වසන්නෙක් විමි. ඒ පෙර ආත්මබවයේ ඔබගේ යහළුවා වීමි.
“ඒ මම රාග, ද්වේෂ, මෝහ ක්ෂය කළ ලොව තණ්හාව ඉක්මවූ, කෙලෙසුන්ගෙන් මිදුණු මේ භික්ෂූන් සත් දෙනම දනිමි.”
[භාග්යවතුන් වහන්සේ:]
“කුම්භකාරය, ඔබ යම්සේ කීයෙහිද, එසේම එය විය. පෙර ඔබ වේහලිඞ්ග ගම වළන් සාදන (ඝටීකාර නම්) කුඹලෙක් වූයෙහි. මවු පියන් රක්නෙක් වූයෙහි. කාශ්යප ශ්රාවකවූ උපාසක වූයෙහි.
“මෛථුන සේවනයෙන් වැළකුණු, නිරාමිෂ බ්රහ්මචාරී වූයෙහි. මගේ ගමෙහි වැසියෙක් වූයෙහි. පෙර මගේ මිත්රයා වූයෙහි.”
[ථෙරා:]
මෙසේ භාවනාවෙන් වැඩූ සිතැති, අන්තිම සිරුරු දරන යහළුවන් දෙදෙනාගේ මේ සංගමය විය.
2. 3. 5.
ජන්තු සූත්රය
106. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක කොසොල් රට හිමවත් පෙදෙස ආරණ්ය කුටියෙක බොහෝ භික්ෂූහු උඩඟුව, ඔසවාගත් මානනළ ඇතිව, චපලව, පාත්ර සිවුරු සැරසීමෙහි යෙදුණෝව, මුඛරිව, කටට ආ ආවක් දොඩනසුලුව, මුළාවූ සිහි ඇතිව, ප්රඥායෙන් වෙන්ව, නොඑකඟ සිතැතිව, වෙසෙති.
එකල්හි වනාහි ජන්තු නම් දෙව්පුත් ඒ පසළොස්වක් පොහෝදා ඒ භික්ෂූන් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්ෂූන්ට ගාථාවලින් මෙසේ කීය:
“පෙරැ ගෞතම ශ්රාවකවූ භික්ෂූහු තණ්හාව නැතිව පිඬු සොයන්නාහු, තණ්හාව නැතිව සෙනසුන් සොයන්නාහු, සුවසේ දිවි පවත්වන්නෝ වූහ. ලොව අනිත්යතාව දැන ඔවුහු දුක් කෙළවර කළහ.