3. නානාතිත්ථියවග්ගො
2. 3. 1.
සිව සූත්‍රය
102. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු සිව දිව්‍යපුත්‍ර තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ සිව දේවපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන එය පිළිපදින්නාහට අභිවෘද්ධිය වෙයි. කිසිදු අවැඩක් නොවෙයි.
“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්සුරුෂයන් සමග මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන් පිළිපදින්නහුට ප්‍රඥාව ලැබේ. අන් කෙනෙකුන්ගෙන් ප්‍රඥාව නොලැබේ.
“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්සුරුෂයන් සමගම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ සද්‍ධර්‍මය දැන පිළිපදනේ ශෝක වස්තු මැද ශෝක නොකෙරේ.
“සත්සුරුෂයන් සමගම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ද්‍ධර්‍මය දැන පිළිපදින්නේ නෑයන් මැද බබළයි.
“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන සත්ත්‍වයෝ ස්වර්‍ගයට යෙත්.
“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ ධර්‍මය දැන පිළිපැදීමෙන් සත්ත්‍වයෝ බොහෝ කල් සුවසේ සිටිත්. “
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිව දිව්‍යපුත්‍රයාට මෙසේ පෙරළා වදාළ සේක:
“සත්පුරුෂයන් සමගම විසිය යුතුයි. සත්පුරුෂයන් හාම මිතුරුකම් කළ යුතුයි. සත්පුරුෂයන්ගේ සදහම් දැන පිළිපදනේ සියලු දුකින් මිදේ. “
2. 3. 2.
ඛෙම සූත්‍රය
103. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු ඛෙම දෙව්පුත් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඛෙම දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.
“යම් කර්‍මයෙක් නපුරු විපාක ඇත්තේද අනුවණ බාලයෝ එසේවූ පව්කම් කරන්නාහු තමන්ට සතුරකු වැනි ආත්මභාවයෙන් යුතුව හැසිරෙත්.
“යමක් කිරීමෙන් පසුතැවේද, කඳුළු පෙරෙන මුහුණ ඇතිව යම් කර්‍මයෙක නපුරු විපාකය විඳීද, එසේවූ පාප කර්‍මය නොකිරීම යහපති.
“යමක් කිරීමෙන් එය කළ තැතැත්තේ නොපසුතැවේද, පිණා ගියෙක්ව, සතුට ඇතිව යමෙක විපාක සැපය විඳීද, එසේවූ කුසල් කිරීම යහපති.
[භාග්‍යවතුන් වහන්සේ:]
“යමක් තමහට වැඩ සලසතැයි දන්නේද, එය පළමුවෙන්ම කළයුතු. ඥානවන්තයා ගැල් පදවන්නා මෙන් නොදැඟලිය යුතු.
“ගැල් පදවන්නා සම මාර්‍ගයවූ මහා මාර්‍ගය හැර විෂම මගට නැගගොස් කැඩුණු කඩඇණය ඇතියේ යම්සේ සිතිවිලි සිතාද,
එපරිද්දෙන් අඥානතෙම දහමින් වෙන්ව අදහම් අනුව ගොස්, මරුමුවට පැමිණියේ කඩඇණය සුන් ගැල්කරු සේ සිතිවිලි සිතයි.”
2. 3. 3.
සේරී සූත්‍රය
104. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු සේරී දිව්‍යපුත්‍ර තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි සේරී දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
“දෙවි, මිනිස් දෙකොටසම ඒකාන්තයෙන් ආහාර කැමතිවෙත්. එසේ කල්හි ආහාර කැමති නොවනුයේ කුමන යකෙක්ද?
[භාග්‍යවතුන් වහන්සේ:]
“යම් කෙනෙක් ශ්‍රද්‍ධාවෙන් හොඳින්, පැහැදුන සිතින් ආහාර දෙද්ද, ඒ ආහාරයේ විපාකය මෙලොවදීත් පරලොවදීත් එය දුන් දායකයන් කරාම පැමිණේ.
“එබැවින් මසුරු මල දුර ලන්නේය. මසුරු මල දුරුකළ කෙනෙක්ව දන් දෙන්නේය. පරලොවදී සත්ත්‍වයාට පිහිට නම් පින්ය.”
ස්වාමීනි පුදුමයි, ස්වාමීනි ඉතා පුදුමය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොතරම් මනාකොට වදාරණ ලද්දේද: