2. 3. 5.
ජන්තු සූත්‍රය
106. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක කොසොල් රට හිමවත් පෙදෙස ආරණ්‍ය කුටියෙක බොහෝ භික්‍ෂූහු උඩඟුව, ඔසවාගත් මානනළ ඇතිව, චපලව, පාත්‍ර සිවුරු සැරසීමෙහි යෙදුණෝව, මුඛරිව, කටට ආ ආවක් දොඩනසුලුව, මුළාවූ සිහි ඇතිව, ප්‍රඥායෙන් වෙන්ව, නොඑකඟ සිතැතිව, වෙසෙති.
එකල්හි වනාහි ජන්තු නම් දෙව්පුත් ඒ පසළොස්වක් පොහෝදා ඒ භික්‍ෂූන් කරා පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂූන්ට ගාථාවලින් මෙසේ කීය:
“පෙරැ ගෞතම ශ්‍රාවකවූ භික්‍ෂූහු තණ්හාව නැතිව පිඬු සොයන්නාහු, තණ්හාව නැතිව සෙනසුන් සොයන්නාහු, සුවසේ දිවි පවත්වන්නෝ වූහ. ලොව අනිත්‍යතාව දැන ඔවුහු දුක් කෙළවර කළහ.
“එහෙත් දැන් ඇතැම් භික්‍ෂූහු තමන් දායකයන් විසින් ලෙහෙසියෙන් පෝෂිත කළ නොහැක්කවුන් කොටගෙන ගමෙහි ගම් දෙටුවන් සේ අන් ගෙවල්හි කකා මුළාව නිදත්.
“සංඝයාට ඇඳිලිකොට (වැඳ) කියමි. මෙහි ඇතැම් පැවිදි කෙනෙක් ඈතට තුමූම නෙරපුණේ (එහෙයින්) අනාථවූයේ, සොහොනෙහි දමා ගිය මළසිරුරු බඳු වෙත්.
“යම් කෙනෙක් වනාහි පමාව වෙසෙත්ද, ඔවුන් සඳහා මෙය මා විසින් කියන ලදී. යම් කෙනෙක් නොපමාව වෙසෙත්ද, ඔවුන් හැමට මම නමස්කාර කෙරෙමි.”
2. 3. 6.
රොහිතස්ස සූත්‍රය
107. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ආරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු රොහිතස්ස දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි රොහිතස්ස දෙව්පුත්තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මෙසේ කීය.
“ස්වාමීනි, යම් තැනෙක නොඋපදීනම්, මහළු නොවේ නම්, චුත නොවේ නම්, නැවත නොඋපදී නම් එසේ වූ ඒ ලෝක කෙලවර දැනගන්නට හෝ දැකගන්නට හෝ එහි යා ගන්නට හෝ හැකිද?”
“ඇවැත්නි, යම් තැනෙක්හි ඉපැද්මෙක් නැද්ද, ජරාවෙක් නැද්ද, මරණයෙක් නැද්ද, චුතවීමක් නැද්ද, මැරී නැවත ඉපදීමෙක් නැද්ද, ඒ ලෝකාන්තය ගමනෙකින් දත හැක්කැයි, දැක්ක හැක්කැයි, එහි යාගත හැක්කැයි මම නොකියමි.”
“ස්වාමීනි, ‘යමෙක්හි ඉපදීමෙක්, ජරායෙක්, මරණයෙක්, චුතවීමෙක්, නැවත ඉපදීමෙක් නැත්නම් එය ගමනින් දත හැක්කැයි නොකියමි’ යි මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කොතරම් හොඳින් වදාරණ ලදද? ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයි.’ ස්වාමීනි, පුදුමයි.’
“ස්වාමීනි, පෙර මම් ඎද්‍ධිමත්, අහසින් යත හැකි, භෝජපුත්‍රවූ රෝහිතස්ස නම් ඎෂියෙක් වීමි. දුනු ශිල්පය උගත්, විදීමෙහි මනා පුරුදුබව ඇති, අන් දුනුවායන් හා කළ ද්වන්ද්ව යුද්ධ ඇති, රාජාදීන් හමුයෙහි දැක්වූ ශිල්ප ඇති, මහත්ම දුන්නක් අත ගත් දුනුවායෙක් හෑල්ලු ඊයෙකින් ගැහැටක් නැතිවම යම්සේ තල්ගසෙක සෙවනැල්ල ඉක්මවාලිය හැකි වන්නේද, එබඳුවූ ගමන් වේගයක් මට විය.
“පෙරදිග මුහුදින් අවරදිග මුහුද යම් පමණ දුරද, ඒ මගේ එපමණ දුරින් පිය ඔසවා තැබීමෙක් විය. ඒ මට ලොව කෙලවරට ගමනින් පැමිණෙන්නෙමියි” ආශාවෙක් විය.
“ස්වාමීනි, ඒ මම මෙබඳු ජවයෙන්ද, මෙබඳු පිය ඉක්මවා තැබීමෙන්ද, සමන්විත වූයෙම්, කන බොන වේලාවල් හැර, මල මූත්‍ර පහ කරන වේලාවල් හැර නිදාගන්නා විඩා දුරුකරනා වේලාවල් හැර, අවුරුදු සියයක් ආයු ඇත්තෙම්, අවුරුදු සියක් ජීවත් වන්නෙම්, අවුරුදු සියක්ම ඎද්‍ධිමය ගමනින් ගොස් ද ලොව කෙළවරට නොපැමිණ අතර මගදීම මැරුණෙමි.