2. 1. 6.
කාමද සූත්‍රය
87. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි කාමද දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි කාමද දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට, “භාග්‍යවතුන් වහන්ස, දුස්කරය, අතිශයින් දුෂ්කරය” යි කීය.
“කාමදය, ශීලයෙන් යුක්තවූ ස්ථිර සිත් ඇති, ශෛක්‍ෂයෝ දුෂ්කරවූද මහණදම් කරත්, ගිහිගෙන් වෙන්වූ බවට පැමිණියාහටම සැප ගෙන දෙන ලද දැයෙහි සතුට වෙයි.”
“භාග්‍යවතුන් වහන්ස, මේ ලද සිවුපසයෙහි සතුටය යන යමෙක් ඇද්ද, එයද දුර්ලභ දෙයකි.”
“කාමදය, දිවා රෑ දෙක්හි යම් කෙනෙකුන්ගේ සිත (භාවනායෙහි) ඇලුණේද, සිත සන්සිඳීමෙහි ඇලුණු ඔවුහු දුර්ලභවූ නමුදු ඒ සතුට ලබත්.”
“භාග්‍යවතුන් වහන්ස, මේ සිත නම් වූ යමක් ඇද්ද, එය එකඟ කිරීම දුෂ්කරය.”
“කාමදය, (චක්‍ෂුරාදී) ඉන්‍ද්‍රියයන් සන්සිඳවීමෙහි ඇලුණෝ එකඟකිරීමට දුෂ්කරවූ නමුදු (සිත) එකඟ කරත්. ඒ ආර්‍ය්‍යයෝ මරහුගේ දැල (කෙලෙස් දැල) සිඳදමා යෙත්.”
“භාග්‍යවතුන් වහන්ස, මාර්‍ගය දුකසේ යා යුතුය, විෂමය.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“කාමදය, ආර්‍ය්‍යයෝ දුකසේ යායුතුවූද මාර්‍ගයෙහි යෙත්. අනාර්‍ය්‍යයෝ යටිකුරුවූ හිස ඇත්තෝ විෂම මාර්‍ගයෙහි වැටෙත්. මාර්‍ගය ආර්‍ය්‍යයන්ට සමය, ආර්‍ය්‍යයෝ සම නුවූයෙහි සම වූවෝයි.”
2. 1. 7.
පඤ්චාලචණ්ඩ සූත්‍රය
88. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි පඤචාලචණ්ඩ දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ පඤචාලචණඩ දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මානය දුරු කළවුන්ට ශ්‍රේෂ්ඨවූ යම් බුද්‍ධ මුනිවරයෙක් ධ්‍යානය අවබෝධ කළේද, මහත් ප්‍රඥා ඇති හෙතෙම අවහිරයෙහි ඉඩ ලැබීය.”
“පඤචාලචණ්ඩය, නුවණැත්තෝ අවහිරයෙහි පවා (නිවන් පිණිස) ධ්‍යාන ලබත්. යම් කෙනෙක් නිවන් ලබනු පිණිස සිහිය ලැබුවාහුද, ඔහු හොඳින් (ලෝකෝත්තර) සමාධියෙන් සමාහිත වූවෝය.”
2. 1. 8.
තායන සූත්‍රය
89. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිත්තෙන් පෙර අත්බැව්හි තීර්‍ථකරව සිටි තායන දෙව්පුත් තෙම රෑ මැදුම්යම්හි බබළන ශරීර ප්‍රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ තායන දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“බ්‍රාහ්මණය, වීර්‍ය්‍යකොට තණ්හා දියපහර සිඳලව. කාමයන් දුරලව. මුනිතෙම කාමයන් නොදුරලා ඒකත්වය (ධ්‍යානයන්) නොලබයි.”
“ඉදින් කරතොත් මෙය කටයුතුය. මෙය දැඩිකොට කටයුතුය. ඒ එසේමැයි. ලිහිල්කොට ගක් පැවිද්ද වඩ වඩා මත්තෙහි කෙලෙස් දූවිලි විසුරුවයි.”
“පව් නොකළේ මැනවි. පාපය එය කළාහු පසුව තවයි. යමක් කොට නොපසු තැවේද, එසේවූ පිනම කරන ලදුයේ මැනවි.”
“වරදවා අල්ලා ගන්නා ලද කුස තණ පත (එය ගත්) අතම යම්සේ සිඳීද, එසේම වරදවා ගත් මහණකම (පැවිද්ද) නිරයට ඇද දමයි.”
“යම් ලිහිල් මහණකමක් වේද, කිලිටිවූ යම් සීලයක් වේද, යම් සැක කටයුතු බ්‍රහ්මචරියාවකුත් වේද, එය මහත් ඵල ඇත්තේ නොවේ.”
තායන දෙව්පුත් මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම අතුරුදහන් විය.