1. සූරිය වර්‍ගය
2. 1. 1.
පඨමකස්සප සූත්‍රය
82. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල කාශ්‍යප දේව පුත්‍රතෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක්පසෙක සිටි ඒ කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුව (මෙසේයයි) පැවසූසේක. එහෙත් භික්‍ෂුවට අනුශාසනය නොපැවසූ සේක.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“කාශ්‍යපය, එසේ නම් එය ඔබටම වැටහේවා.”
[කාශ්‍යප දෙව්පුත්:]
“වාක් සුචරිතය පුරුදු කරන්නේය. මහණුන් විසින් වැඩිය යුතුවූ කමටහන්ද වඩන්නේය. නොහොත් බහුශ්‍රුත මහණුන් ඇසුරු කිරීමද කළයුතු. හුදකලාව ඒකාසනිකාංගයද පුරුදු කරන්නේය. අෂ්ට සමාපත්ති වශයෙන් සිත සංසිමද පුරුදු කරන්නේය.”
කාශ්‍යප දෙව්පුත් මෙය කීය. භාග්‍යවතුන් වහන්සේ එය මැනවයි අනුමත කළසේක.
ඉක්බිති කාශ්‍යප දෙව්පුත් තෙම, “ශාස්තෲන් වහන්සේ මාගේ කීම අනුදත් සේකැ” යි සතුටුව භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට එහිම අතුරුදහන් විය.
2. 1. 2.
දුතියකස්සප සූත්‍රය
83. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි කාශ්‍යප දේව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්මුණු කල මනාපැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ ගාථාව කීය:
“රහත් බව කැමැත්තේ නම්, මහණ තෙම ධ්‍යාන කරන්නෙක් විය යුතු. (කර්‍මස්ථාන විමුක්තියෙන්) මිදුණු සිතැත්තෙක් විය යුතු. (සංස්කාර) ලෝකයේ හටගැන්මත් විනාශයත් දැන, මනා සිතැත්තේව, තණ්හා දෘෂ්ටින් ඇසුරු නොකෙළෙක්ව, ඒ රහත් බව අනුසස් කොට ඇත්තෙක් විය යුතු.”
2. 1. 3.
මාඝ සූත්‍රය
84. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල මාඝ (ශක්‍ර) දෙව්පුත් රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි මාඝ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙය කීය:
“කුමක් නම් නසා සුවසේ සැතපේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් එක් දැයෙක විනාශයට සතුටුවහුද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ක්‍රෝධය නසා සුවසේ සැතපෙයි. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. ශක්‍රය, දුඃක විපාක විෂමූලයක් ඇති, මිහිරිවූ අගක් ඇති, ක්‍රෝධයාගේ විනාශය ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කරත්. එය නසා ශෝක නොකෙරේ.”
2. 1. 4.
මාගධ සූත්‍රය
85. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි මාගධ දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි මාගධ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ගාථායෙන් (මෙසේ) කීය:
“යමෙකින් ලොව ආලෝකවත් වේ නම්, එසේ වූ පහන් කීයෙක් ලොව වෙත්ද? භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නට අවුක් සිටිමු. එය අපි කෙසේ දැනගත හැක්කෙමුද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ලොව පහන් සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි.”
“තවද ගින්න රෑ දවල් දෙක්හිම ඒ ඒ තැන බබළයි. බබළන්නවුන් අතුරෙන් සම්‍යක් සම්බුද්‍ධ තෙම ශ්‍රෙෂඨයි. මෙම නිරුත්තර ආලෝකයයි.”
2. 1. 5.
දාමලි සූත්‍රය
86. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි දාමලි දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දාමලි දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය: