2. 1. 7.
පඤ්චාලචණ්ඩ සූත්‍රය
88. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි පඤචාලචණ්ඩ දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ පඤචාලචණඩ දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මානය දුරු කළවුන්ට ශ්‍රේෂ්ඨවූ යම් බුද්‍ධ මුනිවරයෙක් ධ්‍යානය අවබෝධ කළේද, මහත් ප්‍රඥා ඇති හෙතෙම අවහිරයෙහි ඉඩ ලැබීය.”
“පඤචාලචණ්ඩය, නුවණැත්තෝ අවහිරයෙහි පවා (නිවන් පිණිස) ධ්‍යාන ලබත්. යම් කෙනෙක් නිවන් ලබනු පිණිස සිහිය ලැබුවාහුද, ඔහු හොඳින් (ලෝකෝත්තර) සමාධියෙන් සමාහිත වූවෝය.”
2. 1. 8.
තායන සූත්‍රය
89. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිත්තෙන් පෙර අත්බැව්හි තීර්‍ථකරව සිටි තායන දෙව්පුත් තෙම රෑ මැදුම්යම්හි බබළන ශරීර ප්‍රභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ තායන දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“බ්‍රාහ්මණය, වීර්‍ය්‍යකොට තණ්හා දියපහර සිඳලව. කාමයන් දුරලව. මුනිතෙම කාමයන් නොදුරලා ඒකත්වය (ධ්‍යානයන්) නොලබයි.”
“ඉදින් කරතොත් මෙය කටයුතුය. මෙය දැඩිකොට කටයුතුය. ඒ එසේමැයි. ලිහිල්කොට ගක් පැවිද්ද වඩ වඩා මත්තෙහි කෙලෙස් දූවිලි විසුරුවයි.”
“පව් නොකළේ මැනවි. පාපය එය කළාහු පසුව තවයි. යමක් කොට නොපසු තැවේද, එසේවූ පිනම කරන ලදුයේ මැනවි.”
“වරදවා අල්ලා ගන්නා ලද කුස තණ පත (එය ගත්) අතම යම්සේ සිඳීද, එසේම වරදවා ගත් මහණකම (පැවිද්ද) නිරයට ඇද දමයි.”
“යම් ලිහිල් මහණකමක් වේද, කිලිටිවූ යම් සීලයක් වේද, යම් සැක කටයුතු බ්‍රහ්මචරියාවකුත් වේද, එය මහත් ඵල ඇත්තේ නොවේ.”
තායන දෙව්පුත් මෙය කීය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහිම අතුරුදහන් විය.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඉක්ම ගිය පසු භික්‍ෂූන්ට කථාකළ සේක: “මහණෙනි, මේ (ගතවූ) රැයෙහි පුරාණ තීර්‍ථංකරවූ තායන නම් දෙව්පුත් රෑ පෙරයම ඉක්මුණුකළ බබළන ශරීරය ඇත්ත සියලු ජේතවනය බබුළුවා මම යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ මා වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි තායන දෙව්පුත් මා සමීපයෙහි මේ ගාථා කීය:
“බ්‍රාහ්මණය, වීර්‍ය්‍යකොට තණ්හා දියපහර සිඳලව. කාමයන් දුරලව. මුනිතෙම කාමයන් නොදුරලා ඒකත්වය ධ්‍යානය නොලබයි.”
“ඉදින් කරතොත් මෙය කටයුතුය. මෙය දැඩිකොට කටයුතුය. ඒ එසේමැයි. ලිහිල්කොට ගක් පැවිද්ද වඩ වඩා මත්තෙහි කෙලෙස් දූවිලි විසුරුවයි.”
“පව් නොකරන ලද්දේ මැනවි. පාපය එය කළාහු පසුව තවයි. යමක් කොට නොපසු තැවේද, එසේවූ පිනම කරන ලදුයේ මැනවි.”
“වරදවා අල්ලා ගන්නා ලද කුස තණ පත (එය ගත්) අතම යම්සේ සිඳීද, එසේම වරදවා ගත් මහණකම (පැවිද්දා) නිරයට ඇද දමයි.”
“යම් ලිහිල් කොට ගත් මහණකමක් වේද, කිලිටිවූ යම් (ධුතාඞග) ව්‍රතයක් වේද, යම් සැක කටයුතු බ්‍රහ්මචරියාවකුත් වේද, එය මහත් ඵල ඇත්තේ නොවේ” යි.”
“මහණෙනි, තායන දෙව්පුත් මෙය කීය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහිම අතුරුදහන් විය.”
“මහණෙනි, තායන දෙව්පුත්ගේ ගාථා උගනිවු. මහණෙනි, තායන ගාථාවන් පුහුණු කරවු. මහණෙනි, තායන ගාථා යහපත පිණිස වෙයි. මාර්‍ග බ්‍රහ්මචරියාවට ආදිය (මුල) වේය.”
2. 1. 9.
චන්දිම සූත්‍රය
90. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි චන්‍දිම දේවපුත්‍ර තෙමෙ රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල චන්‍දිම දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කෙරෙමින් ඒ වේලායෙහි මේ ගාථාව කීය:
“බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ සියලු තන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.”
එකල්හි භාග්‍යවතුන් වහන්සේ චන්‍දිම දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථායෙන් වදාළහ:
“එම්බා රාහු, චන්‍දිම තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ චන්‍දිම දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.”