1. 8. 10.
පජ්ජොත සූත්රය
[දෙවතාව:]
80. “ලොව පහනක් වැනි වූයේ කිමෙක්ද? ලොව නොනිඳා සිටින්නා නම් කවරේද? කර්මයෙහි එක්ව ජීවත්වෙන්නා කවරේද? ජීවිකා වෘත්තිය නම් කිමෙක්ද?”
“මව පුතකු රක්නා සේ අලසයාත් අනලසයාත් කවරෙක් නම් රැකගනීද? යම් ප්රාණි කෙනෙක් පොළොව ඇසුරු කළාහු නම්, කුමක් උපකාර කොට ගෙන සත්ත්වයෝ ජීවත් වෙත්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ප්රඥාව ලොව පහනක් වැනිය. සිහිය ලොව නොනිඳා සිටින්නායි. කර්මාන්ත ආදියෙහි සහායව ජීවත් වන්නෝ ගවයෝයි. සීසෑම (ගොයිතැන) ජීවිකා වෘත්තියයි.
ධනය මව පුතකු රක්නාසේ අලසයාත් අනලසයාත් රකී. පොළොව ඇසුරු කළාවූ යම් සත්ත්වයෝ වෙත්ද ඔවුහු වැස්ස නිසා ජීවත් වෙත්.”
1. 8. 11.
අරණ සූත්රය
[දෙවතාව:]
81. “මෙලොව කවුරු නම් කෙලෙස් නැත්තේද? කවුරුන් වුසූ වාසය නොනැසේද? මෙහි කවුරු තණ්හාව පිරිසිඳ දනිත්ද? කාගේ නම් හැම කල්හිම නිදහස් බව වේද?
සිල්හි පිහිටි කවරකු මවත් පියාත් සොහොයුරාත් වඳිත්ද? මෙහි ජාතියෙන් පහත්වූ කාට නම් රජහු ආදරයෙන් නමස්කාර කෙරෙත්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
මහණහු මෙලොව කෙලෙස් නැත්තෝය. මහණුන් වුසූ (ආර්යමාර්ග) වාසය නොනැසේ. මහණහු (තණ්හාව) පිරිසිඳ දනිත්. හැම කල්හි මහණුන්ගේ නිදහස් බව වේ.
ශීලයෙහි පිහිටි මහණහුට මවත් පියාත් සොහොයුරාත් ආදරයෙන් නමස්කාර කෙරෙති. මෙහි ජාතියෙන් පහත්වූ නමුත් මහණහට රජහුද ආදරයෙන් නමස්කාර කෙරෙත්.”
අටවන ඣත්වා වර්ගයයි.
එහි උද්දානය:
ඣත්වා, රථ, චිත්ත, වුට්ඨි, භීත, නජීරති, ඉස්සර, කාම, පාථෙය්ය, පජ්ජොත සහ අරණ යැයි (සූත්රයෝ වෙති).
දෙවතා සංයුත්තය සමාප්තයි.