1. 8. 11.
අරණ සූත්‍රය
[දෙවතාව:]
81. “මෙලොව කවුරු නම් කෙලෙස් නැත්තේද? කවුරුන් වුසූ වාසය නොනැසේද? මෙහි කවුරු තණ්හාව පිරිසිඳ දනිත්ද? කාගේ නම් හැම කල්හිම නිදහස් බව වේද?
සිල්හි පිහිටි කවරකු මවත් පියාත් සොහොයුරාත් වඳිත්ද? මෙහි ජාතියෙන් පහත්වූ කාට නම් රජහු ආදරයෙන් නමස්කාර කෙරෙත්ද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
මහණහු මෙලොව කෙලෙස් නැත්තෝය. මහණුන් වුසූ (ආර්‍යමාර්‍ග) වාසය නොනැසේ. මහණහු (තණ්හාව) පිරිසිඳ දනිත්. හැම කල්හි මහණුන්ගේ නිදහස් බව වේ.
ශීලයෙහි පිහිටි මහණහුට මවත් පියාත් සොහොයුරාත් ආදරයෙන් නමස්කාර කෙරෙති. මෙහි ජාතියෙන් පහත්වූ නමුත් මහණහට රජහුද ආදරයෙන් නමස්කාර කෙරෙත්.”
අටවන ඣත්‍වා වර්‍ගයයි.
එහි උද්දානය:
ඣත්‍වා, රථ, චිත්ත, වුට්ඨි, භීත, නජීරති, ඉස්සර, කාම, පාථෙය්‍ය, පජ්ජොත සහ අරණ යැයි (සූත්‍රයෝ වෙති).
දෙවතා සංයුත්තය සමාප්තයි.
2. දෙවපුත්ත සංයුත්තය
1. සූරිය වර්‍ගය
2. 1. 1.
පඨමකස්සප සූත්‍රය
82. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල කාශ්‍යප දේව පුත්‍රතෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එක්පසෙක සිටි ඒ කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුව (මෙසේයයි) පැවසූසේක. එහෙත් භික්‍ෂුවට අනුශාසනය නොපැවසූ සේක.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“කාශ්‍යපය, එසේ නම් එය ඔබටම වැටහේවා.”
[කාශ්‍යප දෙව්පුත්:]
“වාක් සුචරිතය පුරුදු කරන්නේය. මහණුන් විසින් වැඩිය යුතුවූ කමටහන්ද වඩන්නේය. නොහොත් බහුශ්‍රුත මහණුන් ඇසුරු කිරීමද කළයුතු. හුදකලාව ඒකාසනිකාංගයද පුරුදු කරන්නේය. අෂ්ට සමාපත්ති වශයෙන් සිත සංසිමද පුරුදු කරන්නේය.”
කාශ්‍යප දෙව්පුත් මෙය කීය. භාග්‍යවතුන් වහන්සේ එය මැනවයි අනුමත කළසේක.
ඉක්බිති කාශ්‍යප දෙව්පුත් තෙම, “ශාස්තෲන් වහන්සේ මාගේ කීම අනුදත් සේකැ” යි සතුටුව භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට එහිම අතුරුදහන් විය.
2. 1. 2.
දුතියකස්සප සූත්‍රය
83. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි කාශ්‍යප දේව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්මුණු කල මනාපැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කාශ්‍යප දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මේ ගාථාව කීය:
“රහත් බව කැමැත්තේ නම්, මහණ තෙම ධ්‍යාන කරන්නෙක් විය යුතු. (කර්‍මස්ථාන විමුක්තියෙන්) මිදුණු සිතැත්තෙක් විය යුතු. (සංස්කාර) ලෝකයේ හටගැන්මත් විනාශයත් දැන, මනා සිතැත්තේව, තණ්හා දෘෂ්ටින් ඇසුරු නොකෙළෙක්ව, ඒ රහත් බව අනුසස් කොට ඇත්තෙක් විය යුතු.”