1. දෙවතා සංයූත්තය
1. නළ වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
1. 1. 1.
1. ඕඝ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්ණය ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය:
“නිදුකානන් වහන්ස, කෙසේනම් ඔබ (සංසාර සාගරය) මහාජලය පිහිනා ගොඩ වූවෝදැ”
[භාග්යවතුන් වහන්සේ:]
“ඇවැත්නි මම පිහිටාද නොසිට පැදීමද නොකොට පිහිනා එතර වූයෙමි.”
“නිදුකානනි ඔබ කෙසේනම් පිහිටාද නොසිට පැදීම්ද නොකොට මහා ජලය තරණය කළෝද ?”
[භාග්යවතුන් වහන්සේ:]
“ඇවැත්නි යම්විටක මම පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පදින්නෙම්ද එකල පාවී යන්නෙමි” යි ඇවැත්නි මෙසේ වනාහි මම පිහිටා නොසිට නොපැද (සංසාර සාගරය) මහාජලය එතෙර කළෙමි.”
[දේවතාවා:]
“පිහිටා සිටීමත් නොකොට පැදීමත් නොකොට ලෝකයෙහි තණ්හාව එතර කළාවූ එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ බ්රාහ්මණයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි”
මෙසේ ඒ දෙවිතෙම කීය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළසේක.
එකල වනාහි ඒ දෙවිතෙම ශාස්තෘාන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව භාග්යවතුන්වහන්සේ වැඳ පැදකුනුකොට එහිම අතුරුදහන්විය.
1. 1. 2.
2. නිමොක්ඛ සූත්රය
2. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය:
“නිදුකාණනි ඔබ සත්වයන්ගේ නිමොක්ඛයත් (ආර්ය්ය මාර්ගය) පමෝක්ඛයත් (ආර්ය්ය ඵලය) විවේකයත් (නිර්වාණය) දන්නෝදැ ?”
[භාග්යවතුන් වහන්සේ:]
“ඇවැත්නි මම් වනාහි සත්ත්වයන්ගේ නිමෝක්ඛයත් පමෝක්ඛයත් විවේකයත් දනිමි.”
[දේවතාවා:]
“නිදුකාණනි, සත්ත්වයන්ගේ නිමෝක්ඛය, විමෝක්ඛය, විවේකය, කුමකැයි ඔබ දන්නෝද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තණහාව මුල්කොට ඇති භවය සර්වප්රකාරයෙන් ක්ෂයබවට පැමිණීමෙන්ද, සංඥාස්කන්ධ විඥානස්කන්ධයන්ගේ ක්ෂය බවට පැමිණීමෙන්ද, වේදනාවන්ගේ නිරුද්ධවීමෙන්, සංසිඳීයෑමෙන්ද මෙසේ සත්ත්වයන්ගේ නිමෝක්ඛය, පමෝක්ඛය, විවේකය වේයැයි මෙසේ, ඇවැත්නි, මෙය මම දනිමි”
1. 1. 3.
3. උපන්යෙය සූත්රය
3. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැම්ණියේය. පැමිණ, භාග්යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. ඉක්බිති ඒ දෙවිතෙම භාග්යවතුන්වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ජීවිතය ගෙවෙයි. ආයුෂ ස්වල්පය. ජරාව කරා එළඹියාහට පිහිටවිය හැකි කෙනෙක් නැත්තාහ. මේ මරණ භය දක්නා තැනැත්තේ සැප ගෙනදෙන පින් කරන්නේය.”
[භාග්යවතුන් වහන්සේ:]
“ජීවිතය ගෙවෙයි. ආයුෂ ස්වල්පය. ජරාවට පැමිණියාහට පිහිට විය හැකි කෙනෙක් නැත්තාහ. මේ මරණ භය උතුම් නිවන් දක්නා තැනැත්තේ බලාපොරොත්තු වන්නෙක්ව ලෞකික සම්පත් හැර දමන්නේය.”