1. 6. 1.
ජරා (හෙවත් කිංසුජරා) සූත්රය.
51. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
[දෙවියා:]
“මහලු බව දක්වාම කිමෙක් නම් යහපත්ද? කිමෙක් (සිතෙහි) පිහිටීම යහපත්ද? කිමෙක් නම් මිනිසුන්ට රත්නයක් වේද? කිමෙක් නම් සොරුන් විසින් හැරගෙන යා නොහැකිද?”
[භාග්යවතුන් වහන්සේ:]
“මහලුබව දක්වාම සිල් රැක්ම යහපති, ශ්රද්ධාව ස්ථිරව පිහිටීම මැනවි. ප්රඥාව මිනිසුන්ට රත්නය වේ. පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ.”
1. 6. 2.
අජරසා සූත්රය
[දෙවියා:]
52. “නොදිරා යෑමෙන් කිමෙක් මනාප වේද? කුමක් නම් පිහිටියේ මනාප වේද? මිනිසුන්ට කිමෙක් නම් රත්න වේද? කුමක් නම් සොරුන් විසින් හැරගත නොහැකිද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ශීලය නොදිරා යෑමෙන් මනාප වේ. ශ්රද්ධාව පිහිටියේ මනාප වේ. ප්රඥාව මිනිසුන්ට රත්නය වෙයි. පින සොරුන් විසින් හැරගත නොහැක්ක.”
1. 6. 3.
මිත්ත (හෙවත් කිංසුමිත්ත) සූත්රය.
[දෙවියා:]
53. “පිටරට යන්නහුගේ මිත්රයා කවරේද? සිය ගෙයි වසන්නහුගේ මිතුරා කවරේද? උපන් කටයුත්තක් ඇත්තහුට මිත්රයා කවරේද? පරලොව යන්නහුට හිතවූ මිතුරා කවරේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“පිටරට යන්නහුගේ මිත්රයා ගැල් රංචුව හෝ තවලමයි. සිය ගෙයිදී මිතුරා මවුයි. උපන් වැඩක් ඇත්තහුට යලි යලිත් මිතුරා යහළුවායි. තමා කළ යම් පින් ඇත්ද, ඒ පරලොවට හිතවූ මිතුරායි.”
1. 6. 4.
වත්ථු (හෙවත් කිංසුවත්ථු) සූත්රය.
[දෙවියා:]
54. “මිනිසුන්ට පිහිට කිමෙක්ද? මේ ලෝකයෙහි උතුම් යහළුවා කවරේද? යම් ප්රාණි කෙනෙක් පොළොවෙහි වෙත්ද ඒ සත්ත්වයෝ කුමක් ඇසුරුකොට ජීවත් වෙද්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
54. “දරුවෝ මිනිසුන්ට පිහිටයි. භාර්ය්යාවම උතුම් යහළුවායි. යම් ප්රාණීහු පොළොවෙහි වෙත්නම් ඒ සත්තු වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.”
1. 6. 5.
පළමුවන ජන (හෙවත් ජනෙති) සූත්රය
[දෙවියා:]
55. “කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහුගේ කිමෙක් නම් ඒ මේ අත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුට(වූ) මහත්ම භය වේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්වයා සසර වැදුණේය. ජාති ජරාදී දුක ඔහුටවූ මහත් භයයි.”
1. 6. 6.
දෙවෙනි ජන (හෙවත් ජනෙති) සූත්රය
[දෙවියා:]
56. “කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දුවයිද? කිමෙක් නම් සසර වැදුනේද? ඔහු නොමිදෙනුයේ කුමකින්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්වයා සසර වැදුණේය. ඔහු (නසි මග යන තෙක්ම) නොමිදෙනුයේ දුකිනි.”
1. 6. 7.
තුන්වෙනි ජන (හෙවත් ජනෙති) සූත්රය
[දෙවියා:]
57. “කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුගේ ඉපදීමට පිහිට වේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඈත මෑත දිවෙයි. සත්ත්වයා සසරට වැදුණේය. කර්මය ඔහුට පිහිටය.”