1. 6. 2.
අජරසා සූත්රය
[දෙවියා:]
52. “නොදිරා යෑමෙන් කිමෙක් මනාප වේද? කුමක් නම් පිහිටියේ මනාප වේද? මිනිසුන්ට කිමෙක් නම් රත්න වේද? කුමක් නම් සොරුන් විසින් හැරගත නොහැකිද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ශීලය නොදිරා යෑමෙන් මනාප වේ. ශ්රද්ධාව පිහිටියේ මනාප වේ. ප්රඥාව මිනිසුන්ට රත්නය වෙයි. පින සොරුන් විසින් හැරගත නොහැක්ක.”
1. 6. 3.
මිත්ත (හෙවත් කිංසුමිත්ත) සූත්රය.
[දෙවියා:]
53. “පිටරට යන්නහුගේ මිත්රයා කවරේද? සිය ගෙයි වසන්නහුගේ මිතුරා කවරේද? උපන් කටයුත්තක් ඇත්තහුට මිත්රයා කවරේද? පරලොව යන්නහුට හිතවූ මිතුරා කවරේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“පිටරට යන්නහුගේ මිත්රයා ගැල් රංචුව හෝ තවලමයි. සිය ගෙයිදී මිතුරා මවුයි. උපන් වැඩක් ඇත්තහුට යලි යලිත් මිතුරා යහළුවායි. තමා කළ යම් පින් ඇත්ද, ඒ පරලොවට හිතවූ මිතුරායි.”
1. 6. 4.
වත්ථු (හෙවත් කිංසුවත්ථු) සූත්රය.
[දෙවියා:]
54. “මිනිසුන්ට පිහිට කිමෙක්ද? මේ ලෝකයෙහි උතුම් යහළුවා කවරේද? යම් ප්රාණි කෙනෙක් පොළොවෙහි වෙත්ද ඒ සත්ත්වයෝ කුමක් ඇසුරුකොට ජීවත් වෙද්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
54. “දරුවෝ මිනිසුන්ට පිහිටයි. භාර්ය්යාවම උතුම් යහළුවායි. යම් ප්රාණීහු පොළොවෙහි වෙත්නම් ඒ සත්තු වැස්ස ඇසුරු කොට ජීවත් වෙත්.”
1. 6. 5.
පළමුවන ජන (හෙවත් ජනෙති) සූත්රය
[දෙවියා:]
55. “කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහුගේ කිමෙක් නම් ඒ මේ අත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුට(වූ) මහත්ම භය වේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්වයා සසර වැදුණේය. ජාති ජරාදී දුක ඔහුටවූ මහත් භයයි.”
1. 6. 6.
දෙවෙනි ජන (හෙවත් ජනෙති) සූත්රය
[දෙවියා:]
56. “කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දුවයිද? කිමෙක් නම් සසර වැදුනේද? ඔහු නොමිදෙනුයේ කුමකින්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්වයා සසර වැදුණේය. ඔහු (නසි මග යන තෙක්ම) නොමිදෙනුයේ දුකිනි.”
1. 6. 7.
තුන්වෙනි ජන (හෙවත් ජනෙති) සූත්රය
[දෙවියා:]
57. “කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුගේ ඉපදීමට පිහිට වේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඈත මෑත දිවෙයි. සත්ත්වයා සසරට වැදුණේය. කර්මය ඔහුට පිහිටය.”