1. 4. 9.
පජ්ජුන්නධීතු සූත්රය.
39. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වසන සේක. එකල්හි වනාහි පජ්ජුන්ත දෙවිහුගෙ දූ වූ කෝකනදා දෙවඟන රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප්රභා ඇත්තී සියලු මහාවනය බබුඵවා භාග්යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්න දෙවියාගේ දූ වූ කෝකනදා දෙව්දූ තොම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය:
“වහන්ස, විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි වසන සත්ත්ව සමූහයාට අග්රවූ සම්බුද්ධයන් වහන්සේ කෝකනදා නම්වූ මම හොඳින් වඳිමි. පජ්ජුන්නගේ දූවූ කෝකනදා මම වෙමි.”
“පසැස් ඇති තථාගතයන් වහන්සේ විසින් ධර්මය අවබෝධ කරන ලදැයි පෙර මවිසින් අසනලද පමණක්ම විය. ඒ මම දැන් දහම් දෙසන සුගත් මුනිහුගේ ධර්මය ප්රත්යක්ෂයෙන් දනිමි.”
“යම් අනුවණ කෙනෙක් ආර්ය්ය ධර්මයට නින්දා කෙරෙමින් හැසිරෙක්ද, ඔවුහු දරුණුවූ නපුරු නරකයට පැමිණෙත්. (එහි) බොහෝ කාලයක් දුක් විඳිත්.”
“යම් කෙනෙක් වනාහි ආර්ය්ය ධර්මයෙහි ක්ෂාන්තියෙන්ද, කෙලෙස් සන්සිඳීමෙන්ද යුක්ත නම්, ඔවුහු මනුෂ්යාත්මය හැර දෙව් පිරිස පුරා ලන්නාහ. (දෙව් ලොව උපදනාහ.)”
1. 4. 10.
චුල්ලපජ්ජුන්නධීතු සූත්රය.
40. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ විසාලාමහනුවර සමීපයෙහි මහවනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි වසන සේක. එකල පජ්ජුන්න දෙවිහුගේ (බාල) දූ වූ චුල්ල කොකනදා තොම රෑ පෙරයම ඉක්මගිය පසු මනා වර්ණ ඇත්තී මුඵ මහවනය බබුලුවා භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියාය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එක් පසෙක සිටි පජ්ජුන්නගේ දූ වූ චුල්ල කෝකනදා තොම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීවාය:
“පජ්ජුන්නගේ දූ වූ විදුලිය පැහැ බඳු වර්ණ ඇති කොකනදා බුදුන්ද, දහම්ද, වඳින්නී (දැන්) මෙහි ආවාය. (ඕ තොමෝ අර්ථවත්වූ මේ ගාථා කීය.)”
“ධර්මය විස්තර කරන්නෙම් නම් බොහෝ ආකාරයෙන් විස්තර කළ යුත්තකි. (එහෙත්) යම්තාක් මවිසින් සිතින් පුහුණු කරන ලද නම් කොටින් එපමණක් කියන්නෙමි.”
“වචනයෙන් හෝ සිතින් හෝ කයින් හෝ මුඵ ලොව කිසිදු පවක් නොකට යුතුයි. සිහි නුවණැත්තේ පඤචකාම සම්පත් (විඳීම)ද හැර, අනර්ථය පිණිස පවත්නා කයට දුක් දීමද සේවනය නොකරන්නේය.”
සිවු වන සතුල්ලපකායික වර්ගයයි.
එහි උද්දානය:
සබ්භි, මච්ඡරි, සාධු, න සන්ති, උජ්ඣානසඤ්ඤී, සද්ධා, සමය, සකලික සහ පජ්ජුන්න ධීතු සූත්ර දෙක ද වේ.