1. 3. 10.
එණිජඞ්ඝ සූත්රය
30. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
[දේවතාවා:]
“ඒණි මුවෙකුගේ බඳු වට කෙණ්ඩා ඇති, කෘශවූ, ස්වල්පාහාර ඇති, ලොල් බැව් නැති, හුදෙකලිව හැසිරෙන සිංහයෙකු බඳු, ඇතකු බඳු, කාම අපේක්ෂා නැති, වීරයන් වහන්සේ කරා එළඹ විචාරම්හ: දුකින් කෙසේ මිදෙමුද?”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“ලොව මනැස සවැනි කොට ඇති පඤචකාම බන්ධන ප්රසිද්ධයහ. මෙහි ඇල්ම දුරලීමෙන් මෙසේ දුකින් මිදේ”
තෙවැනි සත්ති වර්ගසසි.
තත්රුද්දානං:
සත්ති, ඵුසති, ජටා, මනොනිවාරණ, අරහන්ත, පජ්ජොත, සර, මහද්ධන, නවවන චතුචක්ක හා දසවන එණිජඞ්ඝ සූත්රයයි.
4. සතුල්ලපකායික වර්ගය
1. 4. 1.
1. සබ්භි සූත්රය
31. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්මුණු කල මනා පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ.
පසෙක සිටි එක් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගැන්මෙන් වැඩි දියුණුව වෙයි. පිරිහීමෙක් නොවෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත් පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත් පුරුෂයන් හාම මිත්ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සදහම් දැනගැන්මෙන් ප්රඥාව ලැබෙයි. අන් පරිද්ිදකින් නොලැබෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැන්මෙන් ශෝක කරන්නක් මැද ශෝක නොකෙරෙයි.”
එවිට අන් දෙවියෙක් භාග්යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැනගැන්මෙන් නෑයන් මැද වෙසෙසින් බබළයි.”
එවිට අන් දෙවියෙක් භාග්යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන්ගේ සාම මිත්ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් සත්වයෝ සුගතියට යෙත්.”
එවිට අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් නිරතුරුව සැපසේ සිටිත්.”
එවිට අන් දෙවියෙක් මෙසේ කීවේය. “භාග්යවතුන් වහන්ස, කාගේ කීම මනාකොට කීමද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තොප සියල්ලන්ම කී දේ එකි එකී කාරණා වශයෙන් යහපත් කීම්ය. එතෙකුදු වුවත් මගේ වචන අසවු:
“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් අවබෝධ කරගැන්මෙන් සියඵම දුකින් මිදේ.”
භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දෙවියෝ භාග්යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට, එහිම අතුරුදහන් වූහ.”