1. 2. 9.
9. කුටිකා සූත්‍රය
19. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
[දෙවතාව:]
“ඔබට කුටියක් නැද්ද? ඔබට කූඩුවක් නැද්ද? ඔබට වැළක් නැද්ද? ඔබ බැම්මෙන් මිදුනේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“මට කුටියක් කිසිසේත් නැත. කිසි ලෙසිනුත් කූඩුවක් නැත. වැළකුත් කිසිසේත් නැත. ඒකාන්තයෙන් බැම්මෙන් මිදුනෙමි.”
[දෙවතාව:]
“මම් ඔබට කුමක් නම් කුටියෙකැයි කීයෙම්ද? කුමක් නම් ඔබට කූඩුවකැයි කීයෙම්ද? ඔබට කුමක්නම් වැළක් යයි කීයෙම්ද? කුමක්නම් ඔබට බැම්ම යයි කීයෙම්ද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“මව කුටිය යයි කීයෙහිය. භාර්‍ය්‍යාව කූඩුව යයි කීයෙහිය. පුත්‍රයන් වැළයයි කීයෙහිය. තණ්හාව බැඳුම යයි මට කීයෙහිය.”
[දෙවතාව:]
“ඔබට කුටියක් නැතියේ යහපත. කූඩුවකුත් නැතියේ යහපත. වැලුත් නැතියේ යහපත. බන්‍ධනයන්ගෙන් මිදුනුසේ යහපත.”
1. 2. 10.
10. සමිද්ධි සූත්‍රය
20. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩ වෙසෙන සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් සම්ද්ධි භික්‍ෂුතෙම රෑ අලුයම නැගී සිට තපෝදා දියවිල යම්තැනෙකද එතැනට ඇඟ සේදීම පිණිස පැමිණියේය. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩ අවුත්, එක් සිවුරක් පමණක් ඇකිව ඇඟ තෙත සිඳුවමින් සිටියේය.
එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ගෙවුනු කල්හි බබළන පැහැ ඇත්තේ, සියලු තපෝදා පෙදෙස බබුළුවා, ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුතෙම යම් තැනෙකද එතැන්හි එළඹියේය. එළඹ අහසෙහි සිට ආයුෂමක් සමිද්ධි භික්‍ෂුහට ගාථායෙන් (මෙසේ) කීවේය.
“භික්‍ෂූන් වහන්ස, ඔබ කම් සැප නොවලඳා සිඟා කති. ඔබ කම් සුව වලඳා සිඟා නොකති. භික්‍ෂූන් වහන්ස, පස් කම් සුව වලඳා පසුව සිඟා කන්න. තරුණ කාලය ඔබ ඉක්මවා නොයේවා.”
[සමිද්ධි:]
“කාලය නම් මම නොදනිමි. වැසුණු කාලය නොපෙනේ. එබැවින් කම් සුව නොවලඳා සිඟා වලඳමි. කාලය මා ඉක්මවා නොයේවා.”
එවිට ඒ දෙවිතෙම පොළොවෙහි සිට ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුහට මෙසේ කීය:
“භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවැදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය. යහපත් තරුණ භාවයෙන් හා ප්‍රථම වයසින් සමන්විතයෝය. කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන්ට අයත් කම් සැප වැළඳුව මැනව. මෙහි මේ ආත්මයෙහිම වැළඳිය හැකි කම් සැප හැරදමා කල්ගතව ලැබෙන කාම සම්පත් අනුව නොදුවනු මැනව.”
[සමිද්ධි:]
“ඇවැත්නි, මම වනාහි මේ ආත්මයෙහි වින්ද හැකි සැපයක් හැර දමා කල්ගතව ලැබෙන සැපයක් පස්සේ නොදුවමි. ඇවැත්නි, මම වනාහි කල්ගතව ලැබෙන සැප හැරදමාමේ ආත්මයෙහිම ලැබිය හැකි සැප පස්සේ දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයෝය, බොහෝ දුක් පමුනුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දෝෂයෝ නම් බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මේ ධර්‍මය වනාහි මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය, එහිපස්සිකය, ඔපනේයකය, නුවනැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය”
[දෙවතාව:]
“භික්‍ෂූන් වහන්ස, කෙසේ නම් කාමයෝ කාලිකයෝය, බොහෝ දුක් සලසන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? කෙසේ නම් මේ ධර්‍මය අකාලිකයයි, එහිඵස්සිකයයි, ඔපනේයකයයි, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද?”
[සමිද්ධි:]
“ඇවැත්නි, මම වනාහි ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්‍ම විනයට අළුත ආයෙක්මි, එබැවින් විස්තරකොට කියන්නට නොහැත්තෙමි. අර්‍හත් සම්‍යක්සම්බුද්‍ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්ාස් වෙත එළඹ මෙ නරුණ විචාරව, යම්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ මෙය තෝරා දෙන සේක්ද, එසේ එය සිතෙහි දරාගනු මැනවැ” යි කීය.