1. 2. 10.
10. සමිද්ධි සූත්‍රය
20. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ තපෝදාරාමයෙහි වැඩ වෙසෙන සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් සම්ද්ධි භික්‍ෂුතෙම රෑ අලුයම නැගී සිට තපෝදා දියවිල යම්තැනෙකද එතැනට ඇඟ සේදීම පිණිස පැමිණියේය. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩ අවුත්, එක් සිවුරක් පමණක් ඇකිව ඇඟ තෙත සිඳුවමින් සිටියේය.
එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ගෙවුනු කල්හි බබළන පැහැ ඇත්තේ, සියලු තපෝදා පෙදෙස බබුළුවා, ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුතෙම යම් තැනෙකද එතැන්හි එළඹියේය. එළඹ අහසෙහි සිට ආයුෂමක් සමිද්ධි භික්‍ෂුහට ගාථායෙන් (මෙසේ) කීවේය.
“භික්‍ෂූන් වහන්ස, ඔබ කම් සැප නොවලඳා සිඟා කති. ඔබ කම් සුව වලඳා සිඟා නොකති. භික්‍ෂූන් වහන්ස, පස් කම් සුව වලඳා පසුව සිඟා කන්න. තරුණ කාලය ඔබ ඉක්මවා නොයේවා.”
[සමිද්ධි:]
“කාලය නම් මම නොදනිමි. වැසුණු කාලය නොපෙනේ. එබැවින් කම් සුව නොවලඳා සිඟා වලඳමි. කාලය මා ඉක්මවා නොයේවා.”
එවිට ඒ දෙවිතෙම පොළොවෙහි සිට ආයුෂ්මත් සමිද්ධි භික්‍ෂුහට මෙසේ කීය:
“භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවැදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය. යහපත් තරුණ භාවයෙන් හා ප්‍රථම වයසින් සමන්විතයෝය. කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන්ට අයත් කම් සැප වැළඳුව මැනව. මෙහි මේ ආත්මයෙහිම වැළඳිය හැකි කම් සැප හැරදමා කල්ගතව ලැබෙන කාම සම්පත් අනුව නොදුවනු මැනව.”
[සමිද්ධි:]
“ඇවැත්නි, මම වනාහි මේ ආත්මයෙහි වින්ද හැකි සැපයක් හැර දමා කල්ගතව ලැබෙන සැපයක් පස්සේ නොදුවමි. ඇවැත්නි, මම වනාහි කල්ගතව ලැබෙන සැප හැරදමාමේ ආත්මයෙහිම ලැබිය හැකි සැප පස්සේ දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයෝය, බොහෝ දුක් පමුනුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දෝෂයෝ නම් බොහෝයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මේ ධර්‍මය වනාහි මේ ආත්මයෙහිම තමා ඇස් හමුයෙහි ඵල ඇත්තේය. අකාලිකය, එහිපස්සිකය, ඔපනේයකය, නුවනැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය”
[දෙවතාව:]
“භික්‍ෂූන් වහන්ස, කෙසේ නම් කාමයෝ කාලිකයෝය, බොහෝ දුක් සලසන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද? කෙසේ නම් මේ ධර්‍මය අකාලිකයයි, එහිඵස්සිකයයි, ඔපනේයකයයි, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි දතයුතුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද?”
[සමිද්ධි:]
“ඇවැත්නි, මම වනාහි ළඟදී පැවිදිවූයෙක්මි. මේ ධර්‍ම විනයට අළුත ආයෙක්මි, එබැවින් විස්තරකොට කියන්නට නොහැත්තෙමි. අර්‍හත් සම්‍යක්සම්බුද්‍ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්ාස් වෙත එළඹ මෙ නරුණ විචාරව, යම්සේ ඔබට භාග්‍යවතුන් වහන්සේ මෙය තෝරා දෙන සේක්ද, එසේ එය සිතෙහි දරාගනු මැනවැ” යි කීය.
[දෙවතාව:]
“භික්‍ෂූන් වහන්ස, අන් මහේශාක්‍ය දේවතාවන් විසින් පිරිවරනලද ඒ භාග්‍යවතුන් වහන්සේ කරා අප වැන්නවුන්ට පැමිණීම පහසු නොවේ, ඉදින් භික්‍ෂූන් වහන්ස, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ මෙ කරුණ අසන්නෙහි නම් අපිත් බණ අසන්නට එන්නෙමු.”
“එසේය ඇවැත්නි” යි ආයුෂ්මත් සමිද්ධි මහණ තෙම ඒ දෙවියාට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් සමිද්ධි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
“ස්වාමීනි, මම රෑ අළුයම්හි නැගී සිට තපෝදා විල යම් තැනෙකද එතැනට ඇඟ සෝදා ගන්නට ගියෙමි. තපෝදායෙහි ඇඟ සෝදා ගොඩවුත් එක් සිවුරක් ඇතිව ඇඟ තෙත සිඳුවමින් සිටියෙමි. ස්වාමීනි, එකල එක්තරා දෙවියෙක් රෑ පෙරයම ගෙවුන කල්හි දිලිසෙන පැහැ ඇත්තේ මුලු තපෝදා විල් පෙදෙස බබුලුවමින් මම් යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහසෙහි සිට මේ ගාථාව කීවේය:
“භික්‍ෂූන් වහන්ස, ඔබ නොකා හිඟති. කා නො සිඟති. භික්‍ෂූන් වහන්ස, කා ඉන්පසු සිඟන්න. කාලය ඔබ ඉක්මවා නොයේවා”
“එසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට ගාථාවෙකින් පෙරළා කීමි.
‘කාලය මම නොදනිමි. වැසුණු කාලය නොපැනේ. එබැවින් නොකා සිඟමි. කාලය මා නොඉක්මවා’ යි
“ස්වාමීනි, එවිට ඒ දෙවියා පොළොවට බැස සිට මට මෙසේ කීවේය: භික්‍ෂූන් වහන්ස, ඔබ ළදරු වියෙහිම පැවිදිවූ කෙනෙක, තරුණය, ඉතා කළු කෙස් ඇත්තෝය, යහපත් තරුණ භාවයෙන්, ප්‍රථම වයසින් යුක්තයෝය, කාම ක්‍රීඩා නොකළ කෙනෙක. භික්‍ෂූන් වහන්ස, මනුෂ්‍යයන් අයත් කම් සැප වැළඳුව මැනව. මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර දමා කල් පසුව ලැබෙන කම් සැප පස්සේ නොදූවන්නැ.
“මෙසේ කීකල, ස්වාමීනි, මම ඒ දෙවියාට මෙසේ කීමි: ‘ඇවැත්නි, මම් වනාහි මේ ආත්මයෙහිම වින්දහැකි සැප හැර දමා කල්ගතව ලැබෙන සැප පස්සේ නොදුවමි. මම කාලික සැප හැරලා මේ ආත්මයෙහිම වින්දහැකි සැප පස්සේ නම් දුවමි. ඇවැත්නි, කාමයෝ වූකලී කාලිකයහ, බොහෝ දුක් පමුණවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මය තමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතසුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැ’යි.
“ස්වාමීනි, මෙසේ මා කී විට, ඒ දෙව් තෙමේ මට මෙසේ කීවේය: ‘කෙසේ නම් කාමයෝ කාලිකය, බොහෝ දුක් පමුණුවන්නෝය, බොහෝ දැඩි වෙහෙස ගෙන දෙන්නෝය, එහි දොස් බොහෝයයිද, එහෙත් මේ ධර්‍මය තමා ඇස් හමුවෙහි ඵල ඇත්තේය, කල් නොයවා පල දෙන්නේය, එව බලවයි අන්‍යයන් තමා වෙතට කැඳවන්නට සුදුසුය, වහා තම සිතට පැමිණවීමට සුදුසුය, නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දතයුතුයයිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදැයි”.
“ස්වාමීනි, මෙසේ ඔහු කී කල, මම ඒ දෙවියාට මෙසේ කීමි: ‘ඇවැත්නි, මම නවක වෙමි, ළඟදී පැවිදිවූයෙකිමි, මේ සස්නට අළුත ආයෙකිමි, විස්කරයෙන් කීමට නොහැක්කෙමි. අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි තපෝදාරාමයෙහි වෙසෙති. උන්වහන්සේ වෙත එළඹ, මේ කරුණු විචාරන්න, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ ඔබට මෙය තෝරා දෙන සේක්ද එසේ සිත දරාගන්නැ’ යි.