3. 5. 5.
චූළරාහුලොවාද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි විවේකීව ඵලසමාපත්තියෙන් හුන් භාග්‍යවතුන් වහන්සේහට මෙබඳු අදහසක් පහළ විය. ‘රාහුලගේ විමුක්තිය මුහුකුරුවන ධර්මයෝ මේරීමට පැමිණියාහුය. දැන් මම රාහුල මත්තෙහි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙහි හික්මවන්නෙම් නම් යහපති’ කියායි.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිව්රු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළැක්කේ ආයුෂ්මත් රාහුලයන් ඇමතූ සේක: ‘රාහුලය, නිසීදනය (හිඳිනා අසුන) ගනුව. අන්ධවනය යම් තැනෙක්හිද, දවල් කාලයෙහි විසීම පිණිස එහි යන්නෙමු’යි.
“ස්වාමීනි, එසේය” කියා ආයුෂ්මත් රාහුල තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය රැගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ගියේය.
ඒ කාලයෙහි බොහෝ දහස් ගණන් දෙවියෝ 'අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුලයන් මත්තෙහි ආශ්‍රවයන් ක්ෂය කිරීමෙහි හික්මවන්නේය' යි භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියාහුය.
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ අන්ධවනයට පිවිස එක්තරා ගසක් මුල පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් රාහුල තෙමේද භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුලයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“රාහුලය, තා කුමකැයි සිතන්නෙහිද? ඇස නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි, අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් වන්නේද? සැප වන්නේද?”
“ස්වාමීනි, දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් විපරිණාම ස්වභාව ඇත්තේ නම්, ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය’යි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, මෙය සුදුසු නොවන්නේමය.”
“රාහුලය ඒ කුමකැයි හඟින්නෙහිද? රූපයෝ නිත්‍ය වන්නාහුද? අනිත්‍ය වන්නාහුද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නාහුය.”
“යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුක් වන්නේද? සැප වන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය’යි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය.”
“රාහුලය, ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ෂුර් විඥානය නිත්‍ය වන්නේද, අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් වන්නේද? සැප වන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් ‘එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මය’යි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, මෙය සුදුසු නොවන්නේය.”
“රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? චක්ඛුසම්ඵස්සය (ඇසෙහි ස්පර්ශය) නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් වන්නේද සැප වන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන ස්වභාව ඇත්තේ නම් ‘එය මම වෙමි, එය මාගේ ආත්මය වන්නේය’යි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි, මෙය සුදුසු නොවන්නේය.”
“රාහුලය, ඒ කුමකැයි හඟින්නෙහිද? චක්ඛුසම්ඵස්සය නිසා හටගන්නාවූ යම් වේදනාවක් යම් සංඥාවක් යම් සංඛාරයක් යම් විඤ්ඤාණයක් වේද? එය නිත්‍ය හෝ වේද අනිත්‍ය හෝ වේද?”
“ස්වාමීනි, අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක් වන්නේද? සැප වන්නේද?”
“ස්වාමීනි එය දුක් වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන ස්වභාව ඇත්තේ නම් ‘එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේය’යි දැකීමට සුදුසු වන්නේද?”
“ස්වාමීනි සුදුසු නොවන්නේය.”
“රාහුලය ඒ කුමකැයි සිතන්නෙහිද? ශ්‍රොතප්‍රසාදය (කණ) නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය. යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද? ස්වාමීනි, එය දුක් වන්නේය. යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම්, අනිත්‍ය නම්, දුක් නම් ‘එය මාගේය එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේය’යි දැකීමට සුදුසු ද? ස්වාමීනි, සුදුසු නොවන්නේය.”
“ඝාණප්‍රසාදය නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය. යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද? ස්වාමීනි, එය දුක් වන්නේය. යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම් අනිත්‍ය නම් දුක් නම් ‘එය මාගේය. එය මම වෙමි. එම මාගේ ආත්මය වන්නේය’යි දැකීමට සුදුසුද? ස්වාමීනි, සුදුසු නොවන්නේය.”
“ජිව්හා ප්‍රසාදය නිත්‍යවන්නේද? අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නාහුය. යමක් වනාහි අනිත්‍යනම් එය දුක් හෝ සැප වන්නේද? ස්වාමීනි, එය දුක් වන්නේය. යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම් අනිත්‍ය නම් දුක් නම් ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේය’යි දැකීමට සුදුසුද? ස්වාමීනි, සුදුසු නොවන්නේමය.”
“කායප්‍රසාදය නිත්‍යවන්නේද? අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය. යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ සැප වන්නේද? ස්වාමීනි, එය දුක් වන්නේය. යමක් වනාහි පෙරළෙන ස්වභාව ඇත්තේ නම් අනිත්‍ය නම්, දුක් නම්, ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මය වන්නේය’යි දැක්මට සුදුසුද? ස්වාමීනි, සුදුසු නොවන්නේය.”
“සිත නිත්‍ය වන්නේද? අනිත්‍ය වන්නේද?”
“ස්වාමීනි අනිත්‍ය වන්නේය.”
“යමක් වනාහි අනිත්‍ය වන්නේ නම් එය දුක් වන්නේද, සැප වන්නේද?”
“ස්වාමීනි දුක් වන්නේය.”